වම්ඉවුර

දෝෂාභියෝගය පසුපස ඇති දේශපාලන හේතු


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පසුපස දේශපාලනය තිබෙනවා යෑයි එයට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවකි. ඇත්ත වශයෙන්ම එය පසුපස දේශපාලනයක්‌ ඇත. දිවි නැගුම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ආණ්‌ඩුව සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ මතය විමසන අතර ව්‍යවස්‌ථාවට පටහැනි කිසිවක්‌ එම කෙටුම්පතේ නැති බවට ඔහු උපදෙස්‌ දෙන්නට ඇත. නමුත් දිවිනැගුම කෙටුම්පත විදේශ මුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්‌ වූ විට දිවිනැගුම පනත් කෙටුම්පතේ යම් යම් විධි විධාන 13 වැනි සංශෝධනයේ පළාත් සභාවලට අයත් බලතල සමග ගැටෙන බව පෙන්වමින් එකී රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට සපයා තිබුණු වගුව එහෙම පිටින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අන්තර්ගත කොට දිවිනැගුම පනතේ විධි විධාන පළාත් සභාවල බලතල සමග ගැටෙනවායෑයි කියමින් එම කෙටුම්පතට සියලුම පළාත් සභාවල අනුමැතිය ලැබිය යුතු බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක්‌ දෙන ලදී. නමුත් මේ ගැටෙනවා යෑයි කියූ බලතල එකිනෙක ගෙන සලකා බැලුවහොත් දැනුවත් සාමාන්‍ය පුද්ගලයකුට එවැනි ගැටුමක්‌ ඇති බව පෙනෙන්නට නැත. ගැටුමක්‌ ඇතැයි කී විධිවිධාන එකිනෙක සලකා බැලුවහොත් මෙවැන්නක්‌ මතුවෙයි.

"දිවිනැගුම කෙටුම්පතේ 26 (ඩී) වගන්තියේ දිවිනැගුම ලාභීන්ට ණය පහසුකම් සැලසීම යන්න පළාත් සභා බලතළ ලැයිස්‌තුවේ අංක 35 සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. පළාත් සභා ලැයිස්‌තුවේ අංක 35 න් කියවෙන්නේ පාර්ලිමේන්තුවේ නීතියකින් ඉඩහැර ඇති තරමට ණය ලබා ගැනීම යන්නයි. 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා බලතල ලැයිස්‌තුවේ අංක 35 හා 36 න් කියෑවෙන්නේ පළාත් සභාවේ මූල්‍ය බලතල ගැනය. ඒ අනුව අංක 35 න් කියෑවෙන්නේ සෑම පළාත් සභාවකටම පාර්ලිමේන්තුවෙන් ඉඩහැර ඇති ප්‍රමාණයට පමණක්‌ ණය ලබාගත හැකි බවයි. අංක 36 න් කියෑවෙන්නේ පළාත් සභා වලට අයකළ හැකි විවිධ බදු ගැනය. මේ නිසා දිවිනැගුම පනත යටතේ පුද්ගලයකු ණයක්‌ ලබා ගැනීම කිසිසේත්ම පළාත් සභාවක්‌, ආයතනයක්‌ හැටියට ණය ලබා ගැනීමට සමාන කළ නොහැක. ඒ දෙක අතර ගැටුමක්‌ ද නැත.

2. දි. නැ. කෙටුම්පතේ 18 (එෆ්) වගන්තියට අනුව දිවි නැගුම ප්‍රජා සංවිධාන විසින් ක්‍රියාත්මක කරන සමාජ සුරක්‍ෂිතතා වැඩසටහන් වලට ආධාර කිරීම පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 7.3 හා 7.4 සමග ගැටෙන බව කියෑවෙයි. මෙකී පළාත් සභා බලතල අදාළ වන්නේ ශාරීරික මානසික හා සමාජීය දුබලතා වලින් පෙළෙන අයට උදව් දීම යන කාරණාවටය. නමුත් දිවිනැගුම සමෘද්ධි හා ජනසවිය වැනි ව්‍යාපෘති හැම විමට ඉලක්‌ක කරන්නේ දුබලතා වලින් පෙළෙන ජනතාව නොව සාමාන්‍ය ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් යුත් අය පමණි. නොයෙක්‌ දුබලතා හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් රැකබලා ගන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසිනි.

3. දි. නැ. කෙටුම්පතේ 4(එෆ්) වගන්තිය යටතේ එන ජීවිකාවන් සංවර්ධනය කිරීම සඳහා භෞතික හා සමාජීය උපරිව්‍යුහය සංවර්ධනය කිරීම යන්න සමාන කොට ඇත්තේ පළාත් සභා ලැයිස්‌තුවේ 5.3 හා 6 වැනි බලතල වලටය. මෙකී පළාත් සභා බලතල වලින් කියෑවෙන්නේ පළාත් සභා ලැයිස්‌තුවේ ඇති ඕනෑම කටයුත්තකට අදාළ ඉදිකිරීම් කටයුතු හා පළාත් සභාව තුළ ඇති මහා මාර්ග, පාලම් හා පාලම් පාරු යන්නයි. ජීවිකාව සංවර්ධනය කිරීම සඳහා භෞතික උපරිව්‍යුහය යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌දැයි කියා අපට දැනටම ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩසටහනින් යම් අදහසක්‌ ලබාගත හැක. ඒ ගවමඩු, එළුමඩු හා ඌරු කොටු වැනි දැය. මේ එක කටයුත්තක්‌ වත් පළාත් සභා වලින් කෙරෙන්නේ නැත. මේ වන විට දශක දෙකකට වඩා වැඩි කාලයක්‌ මුළුල්ලේ ජනසවිය හා සමෘද්ධි ව්‍යාපාර වලින් ගම් මට්‌ටමින් කෙරෙන කටයුතුත් පළාත් සභා වලින් කෙරෙන කටයුතුත් අතර පැහැදිලි බෙදීමක්‌ ඇතිවී හමාරය. උදාහරණයක්‌ වශයෙන් බස්‌නාහිර පළාත් සභාවට කෘෂිකර්ම උපදේශකවරුන් සිය දෙනකුට වඩා සිටී. සමෘද්ධි ව්‍යාපාරයද තම ක්‍රියාකාරකම් අතර කෘෂිකර්මයට ප්‍රධාන තැනක්‌ තිබෙනු ලැබේ. නමුත් අප බිම් මට්‌ටමින් පළාත් සභාවේ කෘෂිකාර්මික උපදේශකවරුන් හා සමෘද්ධි ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් අතර ගැටුමක්‌ ගැන කිසිදාක අසා නැත. එයට හේතුව සමෘද්ධි හෝ දිවිනැගුම වැනි ව්‍යාපෘති කෘෂිකර්මය යෑයි කියමින් බොහෝ විට ඉලක්‌ක කරන්නේ ගෙවත්ත මිස සාමාන්‍ය ගොවීන්ගේ වානිජ වගාවන් නොවේ. දිවිනැගුම ව්‍යාපෘතියේද ඉලක්‌ක ගත කණ්‌ඩායම වන්නේ සාමාන්‍ය ගොවියකු මෙන් වගා ණයක්‌වත් ලබාගත නොහැකි පිරිස්‌ බව පැහැදිලිය.

4. දි. නැ. කෙටුම්පතේ 4 (ඒ) වගන්තියට අනුව දුගී බව තුරන් කිරීම ඉලක්‌ක කොට ගත් සංවර්ධන කටයුතු හා සමාජ සමානාත්මතාවය තහවුරු කිරීම යන්න පළාත් සභා බලතළ ලැයිස්‌තුවේ අංක 2 සහ 10 සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි. මෙකී පළාත් සභා බලතළ යනු පළාත් බද ආර්ථික සැලසුම් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීමත් ග්‍රාමීය සංවර්ධනයත් වෙයි. එසේ නමුත් දුගී බව තුරන් කිරීම නමැති විෂය කවදත් පැවතියේ (ජනසවිය, සමෘද්ධි ව්‍යාපෘති හරහා) මධ්‍යම ආණ්‌ඩුව සතුවය. දිවි නැගුම පනත සම්මත වුවත් නැතත් දුගී බව තුරන් කිරීම නමැති විෂය පළාත් සභාවට අයත් වන්නේ නැත. එය සමෘද්ධි අධිකාරී පනත හරහා දිගටම මධ්‍යම ආණ්‌ඩුවේම රැඳෙනු ඇත. එපමණක්‌ද නොව ග්‍රාමීය සංවර්ධනය යනු ග්‍රාමීය මං මාවත්, නිවාස, රෝහල්, පාසල්, වාරිමාර්ග, පානීය ජල යෝජනා ක්‍රම, විදුලි යෝජනා ක්‍රම යනාදියයි. ජනසවිය සමෘද්ධි හා දැන් දිවිනැගුම ව්‍යාපෘතියද ඉලක්‌ක කරන්නේ ජීවිකාව සංවර්ධනය කිරීම පමණි. රෝහල්, පාසල් යනාදිය සැපයීමට දිවි නැගුම පනත යටතේ විධි විධාන සලසා නැත. එවැනි විෂයන් පාලනය කිරීමට නම් ඒවා මුලින් පවරා ගත යුතුය. එවැනි පවරා ගැනීමක්‌ දිවිනැගුම පනතින් කොතනකවත් සිදුකර නැත.

5. දි. නැ. පනතේ 4(සී) වගන්තියේ සඳහන් සෑම පුද්ගලයකුටම හා පවුලකටම ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම යන්න පළාත් සභා බලතල ලැයිස්‌තුවේ අංක 16 වන ආහාර සැපයුම් හා බෙදාහැරීම් යන විෂය සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. නමුත් මෙහිදී ආහාර සුරක්‍ෂිතභාවය යන්නෙන් අදහස්‌ වන්නේ ගෙවතු මට්‌ටමෙන් කෙරෙන ආහාර වගාවන් ගැනය. දිවිනැගුම පනතෙන් ප්‍රදේශයේ ආහාර සැපයුමක්‌ හෝ බෙදාහැරීමක්‌ ගැන කොතැනකවත් සඳහන් වන්නේ නැත. එවැනි කටයුතු සිදුකරන්නේ පළාත් සභාවට අයත් සමුපකාර ඇතුළු වෙනත් ආයතන විසින්ය.

6. දිවිනැගුම පනතේ 5 (සී) වගන්තියෙන් කියෑවෙන දිවිනැගුම ලාභීන්ගේ නිපැයුම් ගබඩා කිරීම හා අලෙවිකරණය සඳහා මධ්‍යස්‌ථාන ඇතිකිරීම යන වගන්තිය පළාත් සභා ලැයිස්‌තුවේ අංක 15 දරන වෙළෙඳපොළවල් පවත්වාගෙන යැම යන විෂය සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකොට ඇත. සති පොළවල් පමණක්‌ නොව පොදු වෙළෙඳපොළවල් ද සියල්ලම පාලනය වන්නේ පළාත් සභා යටතට වැටෙන පළාත් පාලන ආයතන විසින්ය. මේ එක වෙළෙඳපොළක්‌වත් පවරා ගැනීමට දිවිනැගුම පනතේ කොතැනකවත් විධි විධානයක්‌ නැත. දිවිනැගුම පනතේ 5(සී) වගන්තියෙන් අදහස්‌ වන්නේ කජු සංස්‌ථාවෙන් හෝ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලය විසින් තැනින් තැන පවත්වාගෙන යන වෙළෙඳසල් වැනි විශේෂිත වෙළෙඳසල් පමණක්‌ම බව පැහැදිලිය. මෙවැනි විශේෂ වෙළෙඳසලක්‌ කිසිදාක පොදු වෙළෙඳපළක්‌ වෙනුවට ආදේශ කළ නොහැක.

වැඩිම වුවොත් පළාත් පාලන ආයතනයක්‌ විසින් පවත්වාගෙන යන පොදු වෙළෙඳපොළක්‌ තුළ දිවි නැඟුම ලාභීන්ගේ භාණ්‌ඩ විකුණන එක්‌ කඩ කාමරයක්‌ තිබෙන්නට ඉඩ ඇත. ඊට වඩා යමක්‌ මෙහිදී සිදුවන්නට කොහෙත්ම ක්‍රමයක්‌ නැත. දිවි නැඟුම ලාභීන් විශාල පිරිස්‌ සංවිධානය වී තම නිපැයුම් ද රැගෙන රට පුරා සති පොළවල් හා පොදු වෙළෙඳසැල්වල සිටින වෙළෙඳුන් පන්නා දමා පාරිභෝගිකයන්ට තමන්ගේ භාණ්‌ඩ පමණක්‌ අලෙවි කරන යම් වැඩපිළිවෙළක්‌ තිබුණේ නම් පළාත් පාලන ආයතනවලට අයත් වෙළෙඳපොළවල් පවත්වාගෙන යැම යන විෂය සමග දි.නැ. පනතේ 5 (සී) වගන්තිය ගැටෙන බව කිව හැකිය. නමුත් එකී වගන්තියෙන් අදහස්‌ වන්නේ පවතින කිසිවකට හානියක්‌ නොවන තනි විශේෂිත කඩ කාමර පවත්වාගෙන යාමක්‌ බව පැහැදිලිය.

7. ඊළඟට එන්නේ යම්තාක්‌ දුරකට සැබැවින්ම ගැටුමක්‌ ඇතැයි පෙනී යන වගන්තියකි. දිවි නැඟුම පනතේ 5 (කේ) වගන්තියෙන් කියෑවෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළ දමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා උපරි ව්‍යුහ පහසුකම් සංවර්ධනය කිරීම යන්නයි. උපරි ව්‍යුහ පහසුකම් සංවර්ධනය කිරීම යන්න පළාත් සභා ලැයිස්‌තුවේ බලතල සමග ගැටෙන බවක්‌ බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව දිවි නැඟුම පනතේ එකී වගන්තිය පළාත් සභා බලතල ලැයිස්‌තුවේ අංක 2, 5.3, 6 හා 10 යන විෂයන් සමග ගැටෙන බවට තීන්දු කොට ඇත. මෙකී පළාත් සභා බලතල පළාතේ ආර්ථික සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමට, පළාත් සභා බලතලවලට අදාළ ක්‍රියාකාරකම් සඳහා ඉදිකිරීම් කටයුතු, පළාත තුළ මංමාවත් හා පාලම් හා ග්‍රාමීය සංවර්ධනයට අදාළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. මෙතැන උපරි ව්‍යුහ පහසුකම් යන වචනයෙන් යම්කිසි ගැටුමක්‌ ඇති බව බැලූ බැල්මට පෙනුණත් ක්‍රියාවෙන් එවැනි ගැටුමක්‌ නැති බව ඉතා පැහැදිලිය. දිවි නැඟුම පනතින් කරන්නේ සමෘද්ධි අධිකාරියේ ක්‍රියාකාරකම් පවරා ගැනීමක්‌ බව මෙහිදී සැලකිය යුතුය. සමෘද්ධි අධිකාරියෙන් ද දැනටමත් උපරි ව්‍යුහය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරයි. මෙයින් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි සමෘද්ධි වාර්තාවලින් බලාගත හැක. 2009 එක්‌ වාර්තාවක සඳහන් වන පරිදි එක්‌තරා දිස්‌ත්‍රික්‌කයක සමෘද්ධි ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැඟිලි හතරක්‌ අලුත්වැඩියා කොට තිබිණි. ඉන් එක ව්‍යාපෘතියකට වැයවී තිබුණේ රුපියල් ලක්‍ෂයකට අඩු මුදලකි. තවත් ප්‍රදේශයක සමෘද්ධි ව්‍යාපෘතියක්‌ හැටියට පානීය ජල සැපයුම් පද්ධති 31 ක්‌ ඉදිකොට තිබූ අතර ඉන් එකකට ගිය සාමාන්‍ය වියදම රුපියල් ලක්‍ෂ එකහමාරක්‌ වැනි මුදලක්‌ විය. මේ පිරිවැය දෙස බලන විට සමෘද්ධි ව්‍යාපාරයට උපරි ව්‍යුහ පහසුකම් සංවර්ධනය කිරීම යන්නෙන් අදහස්‌ වන්නේ පළාතේ ජනතාව ඉල්ලා සිටින සුළු මුදලකින් ක්‍ෂණිකව සැපයිය හැකි කුඩා මැදිහත්වීම් බව පැහැදිලිය. බොහෝ විට ගමේ ශ්‍රමදානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීමට පමණක්‌ මෙය සීමා වනවා විය හැක. මෙහිදී ජනසවිය, සමෘද්ධිය හා දිවි නැඟුම වැනි ව්‍යාපෘතිවල සංකල්පය වන්නේ රටේ පාලනය නැති බැරි මිනිසුන් වෙත ක්‍රියාශීලීව ගෙන යාමක්‌ බව මතක තබා ගත යුතුය. බිම් මට්‌ටමේ ක්‍රියාකාරීන් අඩු වරප්‍රසාදිත මේ ජනකොටස්‌ වෙතට ගොස්‌ ඔවුන්ට ක්‍ෂණිකව සහනයක්‌ ගෙන දෙන යම් ක්‍රියාකාරකම් කර දෙන අතර මෙවැනි පොදු කුඩා ව්‍යාපෘති ද කරනවා විය හැක. මෙවැනි දෙයට ගම් මට්‌ටමින් පුද්ගලික දානපතියන් ද මැදිහත් වන බව බොහෝ විට අපට පුවත්පත්වලින් දැක ගත හැක. එවැනි මැදිහත්වීමකින් පාසල් ගොඩනැඟිල්ලක්‌ අලුත්වැඩියා කළා යෑයි කියා එම පාසල පළාත් සභාවෙන් පවරා ගැනීමක්‌ මෙහිදී අදහස්‌ වන්නේ නැත. වතුර පොම්පයක්‌ හා ජලනල කීපයක්‌ මූට්‌ටු කර දුන්නා යෑයි කියා ජලාපවහන මණ්‌ඩලයේ වගකීම් දිවි නැඟුමින් පවරා ගැනීමක්‌ සිදුවන්නේත් නැත. සමෘද්ධියට හෝ දිවි නැඟුමට උපරි ව්‍යුහ සංවර්ධනය හෝ පවත්වාගෙන යැමට මහා පරිමාණ මට්‌ටමේ මැදිහත්වීම් කළ නොහැක. නමුත් ගමේ නැති බැරි ජනතාවට ඇති සමීපභාවය නිසාම යම් අවස්‌ථාවල සුළු මැදිහත්වීම් කරනවා විය හැක. බොහෝ විට මෙවැනි මැදිහත්වීම් කිරීමට සිදුවන්නේ ද වෙන කිසිවෙක්‌ ඒවා කිරීමට ඉදිරිපත් නොවූ නිසාද විය හැක.

8. දිවි නැඟුම පනතේ 9 වැනි වගන්තිය යටතේ ප්‍රජාමූල සංවිධාන හා 15.1 වගන්තිය යටතේ පළාත්බද සංවිධාන පිහිටුවීම පළාත් සභා බලතල වල 17.1 හා 17.2 සමුපකාර ව්‍යාපාර යන විෂයටත් අංක 28 න් කියවෙන වෙළෙඳ, සාහිත්‍යමය, ආගමික හා වෙනත් ස්‌වෙච්ඡා සංවිධාන යන විෂයන් සමග ගැටෙන බව කියෑවෙයි. නමුත් දිවි නැඟුමින් කරන්නේ සමෘද්ධි ව්‍යාපාරයේ දැනටමත් පවතින සංවිධාන පවරා ගැනීමක්‌ පමණි. මේ සංවිධාන කිසිදාක සමුපකාර ව්‍යාපෘතියට අයත් බවට සැලකුණේ නැත.

9. හාස්‍යජනකම කාරණය වන්නේ දිවි නැඟුම පනතේ 11 (කේ) වගන්තියට අනුව ශ්‍රමදාන ව්‍යාපෘතිවලින් සංවර්ධන කටයුතු කිරීම යන වගන්තිය පළාත් සභාවේ අංක 2 සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම හා අංක 10 ග්‍රාමීය සංවර්ධනය යන බලතල සමග ගැටෙන බව කීමයි. ශ්‍රමදාන යන්න පළාත් සභා ලැයිස්‌තුවේ තබා වෙන මොනම ලැයිස්‌තුවකටවත් අයත් බලතලයක්‌ විය නොහැක. සිංහල රජ කාලේ පැවැති "රාජකාරිය" වැන්නක්‌ නම් ඒ ආකාරයට කවරකුට හෝ පැවරිය හැකි වීමට ඉඩ ඇත. රජ කාලයේ රාජකාරිය අනිවාර්ය සේවයක්‌ විය.

10. දිවි නැඟුම පනතේ 16 (ඊ) වගන්තියෙන් දිවි නැඟුමලාභීන්ට කෘෂිකාර්මික හා වෙනත් නිපැයුම් සංවර්ධනය කිරීමට තාක්‍ෂණික උපකාර හා වෙනත් සේවාවන් සැපයීම යන්න පළාත් සභා ලැයිස්‌තුවේ 9.1 කෘෂිකර්මය හා කෘෂිකාර්මික අධ්‍යාපනය නමැති බලය සමග ගැටෙන බවද කියෑවී ඇත. නමුත් අපි කලින්ම පෙන්වාදුන් පරිදි පළාත් සභාවත් සමෘද්ධිය, දිවි නැඟුම වැනි ව්‍යාපෘති කෘෂිකර්මයට සහභාගි වන්නේ සම්පූර්ණ වෙනස්‌ මට්‌ටම් දෙකකිනි. සමෘද්ධියෙන් හෝ දිවි නැඟුමෙන් කෙරෙන කෘෂිකර්මය යනු වාහනයක්‌ වත් ලබාගත හැකි මට්‌ටමේ ඒවා නොවේ. 2009 දී සමෘද්ධි ව්‍යාපාරය එක්‌තරා ප්‍රදේශයක කෘෂිකාර්මික ව්‍යාපෘති 61 ක්‌ කර තිබුණු අතර ඉන් එක ව්‍යාපෘතියක සාමාන්‍ය පිරිවැය රුපියල් 20,000 ක්‌ පමණ විය. මෙවැනි ව්‍යාපෘති වලින් කෙරෙන්නේ සාමාන්‍ය ගොවීන් කරන ආකාරයේ වානිජ කෘෂිකර්මයක්‌ නොවන බව පැහැදිලිය. පළාත් සභාවල කෘෂිකාර්මික දෙපාර්තමේන්තු ගෙවතු වගාව වැනි දේට උනන්දුවක්‌ දක්‌වන්නේ අඩුවෙන් විය හැක. මුළු බස්‌නාහිර පළාතේම සිටින්නේ කෘෂිකර්ම උපදේශකවරුන් 111 දෙනෙකි. එවැනි පිරිසකට බස්‌නාහිර පළාත වැනි ජනගහනයක්‌ සිටින ප්‍රදේශවල ගෙවතු වගාව දක්‌වා අවධානය යොමු කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් කෘෂිකාර්මික උපදේශකවරුන්ට වඩා විශාල පිරිසක්‌ සිටින සමෘද්ධි ව්‍යාපෘතියට ගෙවත්ත කෙරෙහිත් අවධානය යොමු කළ හැක.

මේ ආකාරයට දිවි නැඟුම පනතේ වගන්තිත්, 13 වන සංශෝධනයේ පළාත් සභා ලැයිස්‌තුවේ ඇති බලතලත් අතර සමානත්වයක්‌ තිබෙනවා දැයි හොඳින් කල්පනා කර බලා ගත් තීන්දුවක්‌ බවට අපට නිගමනය කිරීමට අසීරුය. අසමාන දේවල් සමාන ඒවා ලෙස ගණන් ගෙන දුන් ඒ මුල් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා දිවි නැඟුම පනතට සෑම පළාත් සභාවකම අනුමැතිය අවශ්‍ය විය. උතුරේ පළාත් සභාවක්‌ නැති නිසා අනෙක්‌ සියලු පළාත් සභාවල අනුමැතිය තිබුණත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය නැතුව දිවි නැඟුම පනත සම්මත කර ගත නොහැක. මෙවැනි ක්‍රියාදාමයකට අසමාන දේවල් සමාන ලෙස ගෙන සද්භාවයෙන් තොරව කරන ලද්දක්‌ යෑයි ආණ්‌ඩුව විශ්වාස කරන බවක්‌ පෙනේ. මේ දෝෂාභියෝගය එයට ප්‍රතිචාර දැක්‌වීමක්‌ බව පැහැදිලිය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.