භික්‍ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්‍ෂණය
උදෙසා දාන සීට්‌ටුවක්‌

මෙරට බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාගේ ආරක්‍ෂණය උදෙසා දානය පිළිබඳ වට්‌ටෝරුවක්‌ සකස්‌ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයට උපදෙස්‌ ලබා දී ඇත.

අපේ රටේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට දානමාන පිරිනැමීම දායකයන් විසින් සිදුකරන්නේ මහත් භක්‌තාදරයකිනි. මේ නිසා බොහෝ රසවත්ව දානය සඳහා පිළියෙළ කරන ආහාර පාන සකස්‌ කළද බොහෝ විට එම නිසාම එම ආහාර පාන භික්‍ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය සම්පන්නතාවයට බලපෑමක්‌ එල්ල කර ඇත.

මේ නිසාම අපේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගෙන් වැඩි පිරිසක්‌ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමක්‌ ඇත. උන්වහන්සේලාට පිරිනමන දානමාන බොහෝ විට අධික තෙල්, සීනි, පිටි සහ ලුණු අඩංගු වන බව වෛද්‍යවරු පවසති. දායකයන් විසින් පිරිනමන දානමාන ප්‍රතික්‍ෂේප කළ නොහැකි නිසා උන්වහන්සේලා ඒවා වළඳති. නමුත් මේ නිසාම උන්වහන්සේලා රෝගී තත්ත්වයකට පත්වීම වැළැක්‌විය නොහැකිය. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් භික්‍ෂූන් වහන්සේලා කීපනමක්‌ මේ සම්බන්ධව පියවර ගන්නා ලෙස ඉල්ලීමක්‌ කර තිබෙන අතර ඒ අනුව භික්‍ෂූන් වහන්සේලාට දිනපතා සපයන දානමානවලදී ඒ සඳහා අන්තර්ගත විය යුතු ආහාරපාන මෙම දාන සීට්‌ටුවට ඇතුළත් කර ඇත.

ජාතික සෞඛ්‍ය සතියේ 07 වැනි දිනය වන දෙසැම්බර් 16 දා මෙම දාන සීට්‌ටුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම දිවයිනේ සෑම රෝහලකම භික්‍ෂූන්වහන්සේලා ඇතුළු සියලුම පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකිවන පරිදි විශේෂ ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ. මෙම ඒකක තුළින් ඕනෑම අවස්‌ථාවක රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනි මට්‌ටම මැනීම, කොලෙස්‌ටරෝල් පරීක්‍ෂාව, උසට සරිලන පරිදි බර පවත්වාගෙන යැමට උපදෙස්‌ සැපයීම මෙන්ම ප්‍රතිකාරක සේවාවන් ද සපයනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.