ආත්මයත් කා නිවාඩුවත් කෑම

හමුදා සෙබළාගේ ස්‌වරූපය ද්විත්වමය. විටෙක ඔහු දුෂ්ටයෙකි. විටෙක ඔහු දේශප්‍රේමියෙකි.

1988 - 89 - 90 කාලයේදී ජනතා විමුක්‌ති පෙරමුණ සංහාරය කිරීමට ආර්. ප්‍රේමදාස හා රන්ජන් විඡේරත්න ප්‍රමුඛ යූ. එන්. පී. ආණ්‌ඩුව විසින් යොදවන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසියයි. ඇඹිලිපිටියේ සංහාරය මතකද? ඒ සංහාරය තනිකරම මෙහෙයවන ලද්දේ දයානන්ද ලොකුගලප්පත්ති නමැති විදුහල්පතිවරයකු සහ යුද හමුදා මේජර්වරු දෙදෙනෙකි. එයින් එකකුගේ නම ගනේෂ් ගිනිගේ ය. අනෙකා ජාලිය ඈපා යි. මේ සංහාරයේදී තරුණ පිරිමි ළමයින් හෙවත් ශිෂ්‍යයෝ අඩුම ගණනේ 10 ක්‌ අතුරුදන් වූහ. යළි කවදාවත් ඔවුන් සොයා ගැනීමට නො හැකි විය. විදුහල්පතිවරයා මෙන්ම ආමිකාරයන් දෙදෙනා ද හිරේ ගිය බව කියන්නේ මේ රටේ අධිකරණයට සහ නීතියට ගෞරව කරනු පිණිස ය.

ඉතාම පුදුමය වන්නේ 88 - 90 භීෂණයේදී එය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා යුද හමුදාවට හෙණ ඉල්ලූ එවකට මේ රටේ සිටි දෙකෝටියකට මදක්‌ අඩු ජනගහනයෙන් වැඩි දෙනා කොටි සංහාරයට එරෙහි අවසන් සටනට සහභාගි වූ යුද හමුදාව වෙනුවෙන් බෝධි පූජා පැවැත්වීම ය. යුද හමුදාවේ මරණ සංඛ්‍යාව ඉහළ යන විට මෙරට දෙමාපියන් ලක්‍ෂ ගණනකගේ හදවත් උණු වූ අතර, දෙකොපුල් දිගේ කඳුළු ගංගා ගලන්නට පටන් ගත්තේය. මනුෂ්‍යයා යනු හරි පුදුම සත්ත්වයෙකි. මේ සතාගේ හැසිරීම කියන්නට බැරි තරම් පුදුම ය. අද හතුරා හෙට මිතුරා ය. අද මිතුරා හෙට හතුරා ය.

අප ඉහත සඳහන් කරුණු ඩිංග මතක්‌ කළේ ඊයේ 'දිවයින්' පළමුවැනි පිටුවේ පළ වූ පුවතකට පූර්විකාවක්‌ ලෙස ය. එම පුවතට අනුව තම නිවස බලා යැම සඳහා පොලොන්නරුව කදුරුවෙල බස්‌ නැවතුම්පළේ රැඳී සිටි 42 හැවිරිදි මවක්‌, නිවාඩුවට ගමේ පැමිණි තරුණ හමුදා සෙබළකු විසින් පැහැර ගනු ලැබ දූෂණය කර ඇත. මෙයට ඔහුගේ මිතුරන් වූ තවත් තරුණයන් සිවුදෙනෙක්‌ සහභාගි වූහ. මෙය සාමූහික දූෂණයකි. මේ සෙබළා හමුදා පෙරමුණේ සිටි කාලයේදී කවරාකාරයෙන් හැසිරුණේ ද යන්න සොයා බැලිය යුතු ය. එසේම මවුබිම බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා සටන් කළ ලක්‍ෂ සංඛ්‍යාත යුද හමුදා සෙබළුන්ගේ ඇඟෙහි මේකා විසින් තවරන ලද තාර පැල්ලම සම්බන්ධයෙන් උපරිම දඬුවම් දිය යුතු ය.

නිවාඩුවට ගමේ ආ යුද සෙබළා හොරකම් කිරීම, මිනී මැරීම, ස්‌ත්‍රීන් දූෂණය කිරීම පසුගිය කාලයේදී විටින් විට දැක ගන්නට ලැබිණි. මේ අනුව හමුදා සෙබළුන් නිවාඩුවට එන විට ඒ ඒ පළාත්වල වෙසෙන තරුණ ගැහැනු දරුවන් සහ මවුවරුන්ට පමණක්‌ නොව ආච්චිලාට ද ආරක්‍ෂාව සැපයීමට වෙනම හමුදාවක්‌ යෑවිය යුතු තත්ත්වයක්‌ මතු වී තිබේ. ඇඹිලිපිටියේ දොස්‌තර කෙනකුට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නා ලද්දේ ද හමුදා සෙබළුන් දෙදෙනකු විසිනි. ඒ අතර යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් ද ක්‍රමයෙන් සමාජයීය ව්‍යසනයක්‌ වෙමින් පවතී. පැන යන සෙබළා බොහෝ විට පැන යන්නේ ආයුධයත් සමඟ ය. ඔහු සමාජගත වන්නේ සන්නද්ධ අපරාධ අපේක්‍ෂකයකු ලෙසිනි. ඔහු අපරාධ සොයමින් ඇවිදියි. කුලියට මිනී මැරීමට ඇති තැන් සොයා පණිවුඩ යවයි. හමුදාවෙන් පැන එන විටම ඔහුගේ චර්යාව ද නිමාවට පත් වෙලා ය. ඔහු සිටින්නේ බලවත් පීඩනයකිනි. එය ඔහු හමුදාවෙන් පැන ඒමට බල පෑ සාධකයන් සමඟ තවතවත් තීව්‍ර වීමට පටන් ගනී. ඔහු පැන එන්නේ පීඩනයෙන් මිදීමට ය. එහෙත් සමාජය තුළ ඇති පීඩනය එයට වැඩි ය. එක පැත්තකින් මිල්ටරි පොලිසිය ඔහු සොයන්නට පටන් ගනී. මිල්ටරි පොලිසියට හසුවනවාට වඩා දුම්රියට බෙල්ල තැබීම සැපතකි. අනෙක්‌ පැත්තෙන් ලිංගික පීඩනය සහ ආර්ථික පීඩනය ඔහුගේ මොළයේ පරිපථ Sච්රන කරයි. එසේ කියා ඔහුට ඉඩ දී සිටීමට සමාජය බැඳී නැත.

හතළිස්‌ දෙහැවිරිදි මාතාවක්‌ දූෂණය කිරීමට තරම් පරිහානියට පත් තරුණ හමුදා සෙබළා විසින් එම මාතාවගේ ආත්මය ද තම නිවාඩුව ද විනාශ කරගෙන ඇත. ඉදිරියේදී තව තවත් විනාශයන් ඔහු ඉදිරියට පැමිණීමට පුළුවන. ඒ සියල්ලට ඔහු තනිව මුහුණ දිය යුතු ය. හැම අපරාධකාරයකුටම නීතිඥ පිහිට අවශ්‍ය ය. එහෙත් කදුරුවෙල ස්‌ත්‍රී දූෂක සෙබළාට නීති පිහිට නො දිය යුතු බවට අපි යෝජනා කරමු. මෙය අසාධාරණ යෝජනාවක්‌ විය හැකි ය. එහෙත් සෙබළා සාධාරණ නැති නිසා ඊට වඩා යහපත් දෙයක්‌ ඔහු වෙනුවෙන් යෝජනා කළ නො හැකි ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.