මදුරුවාගෙන් මඩිය තර කෙරෙන ටෙන්ඩරය අත්හිටුවයි

අඩු මුදලකට මිලදී ගත හැකිව තිබිය දී වැඩි මිලකට මදුරුවන්ට දුම් ගසන යන්ත්‍ර මිලදී ගැනීමට සැලසුම් කළ ටෙන්ඩරය වහාම අත්හිටුවීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස්‌ දී තිබේ.

මදුරු මර්දනය සඳහා භාවිත කරන දුම්ගැසීමේ යන්ත්‍ර 100 ක්‌ මිලදී ගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා වන ටෙන්ඩරයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර තිබිණි.

මෙම ටෙන්ඩරයට අදාළව විශාල අක්‍රමිකතාවක්‌ එනම් එම යන්ත්‍රයක වටිනාකමට වඩා වැඩි මුදලකට ඒවා එක්‌තරා සමාගමකින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි අනාවරණය වී තිබේ. මේ එක්‌ යන්ත්‍රයක්‌ රුපියල් අසූහත්දහස්‌ නවසිය හතළිස්‌ අටකට මිලදී ගත හැකිව තිබිය දී ඒවා රුපියල් එක්‌ලක්‌ෂ හතළිස්‌ අට දහසකට මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි.

අවම මිලකට අදාළ යන්ත්‍ර මිලදී ගැනීමට හැකියාව තිබියදී වැඩි මිලකට ඒවා මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමට අදාළව අවම මිලකට සැපයිය හැකි සමාගම් දෙකක නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී කරුණු සැල කළහ.

ඒ අනුව වහාම එම මදුරු ධුමායන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අත්හිටුවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නිලධාරියාට එරෙහිව විමර්ශනයක්‌ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.