අසාර්ථක ධූමායන ක්‍රමය ඩෙංගු මර්දනයට
දිගින් දිගටම යොදාගැනීම ගැටලුවක්‌

- කීට විද්‍යා සහකාර නිලධාරි සංගමයේ ලේකම්

ඒමන්ති මාරඹේ

ධූමායනය සාර්ථක ඩෙංගු මර්දන ක්‍රමයක්‌ නොවන බව තහවුරු වී තිබියදීත් අතිවිශාල මුදලක්‌ වැය කරමින් ධූමායන යන්ත්‍ර (ෙµdaගින් මෙෂින්ස්‌) මෙරටට ආනයනය කරමින් එම ක්‍රමය ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා දිගින් දිගටම යොදා ගැනීමට බලධාරීන් කටයුතු කිරීම ගැටලුවක්‌ බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා පවසයි.

ධූමායනය වෙනුවට ජාන තාක්‍ෂණය යොදාගෙන නිපදවූ මදුරුවන් හරහා මදුරු ජනගහනය අඩු කිරීම ඇතුළු සාර්ථක අඩු මිල මදුරු මර්දන ක්‍රමවේදයන් රැසක්‌ දැනට පැවතීම නිසා ඒවා අත්හදා බැලීමට කාලය එළඹ ඇතැයි සුමනසේන මහතා කීවේය.

මෙසේ වරින්වර ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වූ රුපියල් දහස්‌ ගණන් වටිනා ධූමායන යන්ත්‍ර සිය ගණනක්‌ මේ වන විට භාවිතයට නොගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පසෙකට දමා තිබෙන බව ද ඔහු කීවේය. එම යන්ත්‍ර භාවිතයට කාර්ය මණ්‌ඩල පුහුණු කර නොතිබීම හා ඇතැම් යන්ත්‍ර බාල තත්ත්වයේ පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ධූමායනය හෙවත් මදුරුවන්ට දුම් ගැසීමේ ක්‍රියාවලිය හරහා පලතුරු මැස්‌සා ඇතුළු පරිසරයට හිතකර ජීවීන් විනාශ වන බවත් පරිසරයෙහි සමතුලිත බව නැති වන බවත් අනාවරණය වී ඇතැයි කී සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ධූමායනය මදුරුවන් මර්දනය කිරීමේ සාර්ථක ක්‍රමයක්‌ නොවන බව පෙන්වා දී ඇතැයි අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.