කෝ මේ කොමසාරිස්‌?

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙවර අ.පො.ස. සා.පෙළ විභාගය කිරීමට නියමිත දරුවනුත් අමාරුවේ දමා තමනුත් අමාරුවේ වැටී ඇත. අඟහරුවාදා පැවැත්වෙන සා.පෙළ. විභාගයට පෙනී සිටින අයෑදුම්කරුවන් සියලුම දෙනාට අත්‍යාවශ්‍ය ලියෑවිලි දෙකක්‌ තිබේ. එයින් එකක්‌ වන්නේ විභාග ශාලා ප්‍රවේශ පත්‍රයයි. මෙය නැතිව විභාග ශාලාවට ඇතුළුවිය නොහැක. දෙවැන්න, ජාතික හැඳුනුම්පත්‍රයයි. මෙය නැතිවද විභාග ශාලාවට අයෑදුම්කරුවන් ඇතුළු කර ගන්නේ නැත. සා.පෙළ විභාග අපේක්‍ෂකයන් සියලුම දෙනාට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක්‌ දැන් උද්ගතව ඇත. ඒ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුවට දන්වනු ලැබ ඇත. මෙය හරියටම පෝරුවට නගින්නට විනාඩි පහක්‌ තබා තමාට පැමිණීමට නොහැකි බව මනාලයා විසින් මනාලියට දන්වනු ලැබීම හා සමාන ය. එවිට මනාලියගේ පාර්ශ්වයට සිදුවන්නේ මනාලයා කොහෙන් හෝ සොයාගෙන පැමිණ ගස්‌ බැඳ පහර දීමට ය. හැඳුනුම්පත් ප්‍රශ්නයේදී එසේ ගස්‌ බැඳ පහර දීම සඳහා කොමසාරිස්‌ කෙනෙක්‌ මේ වෙලාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නැත. පු.ලි.දෙ. හිටපු ප්‍රධානියා රේගුවේ ලොක්‌කා ලෙස මාරුවක්‌ ලබා ගිය අතර දැනට ඒ තනතුර සඳහා ඇබෑර්තුවක්‌ ඇත.

මෙවර අ.පො.ස. විභාගයේ අයෑදුම්කරුවන් සියලුම දෙනාට කලට වේලාවට ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය මාස කිහිපය තුළ අවස්‌ථා තුනකදී නිවේදනය කළේය. "දිවයින" ඒ අවස්‌ථා තුනම වාර්තා කළාය. මේ වාර්තා කියවූ ශිෂ්‍ය ප්‍රජාව සැනසුම් සුසුම් හෙළන්නට ඇති. එහෙත් අවසාන මොහොතේදී ඒ සැකසුම කඩාකප්පල් වී තිබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොහැකියාව නිසා විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යයන්ට සහනයක්‌ දීමට තීරණය කර ඇත. ඒ වූකලී පාසල් අයෑදුම්කරුවන්ට විදුහල්පතිතුමා විසින් සහතික කරන ලද ඡායාරූප දෙකක්‌ ඉදිරිපත් කර විභාග ශාලාවට ඇතුළුවීමේ අවසරය ලබා දීමත් පෞද්ගලික අයෑදුම්කරුවන්ට ග්‍රාම සේවක සහ ප්‍රාදේශීය ලේකම් අනුමත කළ ඡායාරූප දෙකක්‌ ඉදිරිපත් කර විභාග ශාලාවට ඇතුළු වීමට අවසර දීමත් ය. විදුහල්පතිතුමාත් සොයත හැකිá ප්‍රාදේශීය ලේකම් තුමාත් සොයත හැකිá එහෙත් ග්‍රාමසේවක තුමා කොහෙන් හොයන්නද? එතුමා බොහෝ විට සිටින්නේ ෆීල්ඩ් එකේය. එසේම එතුමා තම වසමේ සිටින සිසුන් සියලුම දෙනා හඳුනන්නේ ද නැත. එතුමා වැඩි වශයෙන් කාර්යාලයේ සිටින්නේ බදාදාට පමණි. අද සෙනසුරාදා ය. හෙට ඉරිදා ය. විභාගය පැවැත්වෙන්නේ අඟහරුවාදාය. එබැවින් ෆීල්ඩ් සහ ෆැඩි ෆීල්ඩ්වල සිටින ග්‍රාම සේවක මහත්වරුන් සියලුම දෙනාට තම කාර්යාලවල රැඳී සිටින ලෙස දැන්වීම රජයේ වගකීමය. එසේම ප්‍රාදේශීය ලේකම්වරු සියලුම දෙනා සඳුදා දවසේ සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරන ලෙස රජයෙන් ඉල්ලමු. නැතහොත් අ.පො.ස. සාපෙළ අපේක්‍ෂකයන් පිරිස ගොඩදමා ගැනීමට බැරිය.

විභාග දෙපාර්තමේන්තුව වසරකට විභාග තුන්සිය පනහක්‌ පවත්වයි. අවුරුද්දටම ඇත්තේ දින තුන්සිය හැටපහකි. එයිනුත් දින එකසිය දහයකට කිට්‌ටු සංඛ්‍යාවක්‌ සෙනසුරාදා ඉරිදා පොහොය නත්තල්, සිංහල අවුරුද්ද, ඉස්‌ලාමීය ආගමික උත්සව, දෙමළ ආගමික උත්සව යනාදියට වෙන්වූ ආණ්‌ඩුවේ නිවාඩු දවස්‌ය. ඉතිරි දවස්‌ දෙසිය පනහක කාලය තුළ විභාග තුන්සිය පනහක්‌ පැවැත්වීමෙන් විභාග දෙපාර්තමේන්තුව ස්‌වකීය කායHsක්‍ෂතාව ප්‍රදර්ශනය කර ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඇත්තේ එකම එක රාජකාරියක්‌ පමණි. ඒ වූකලී හැඳුනුම්පත් නිකුත් කිරීමය. එයත් කලට වේලාවට කර ගන්නට බැරි වන මේ දෙපාර්තමේන්තුවෙන් ඇති ඵලය කිම? මේ ප්‍රශ්න නිසා විභාගය කර ගන්නට බැරි වන ළමයින්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද?

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.