ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද නොවේ හෙට..

දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන වියදමට සාපේක්‍ෂව බෙහෙත් වර්ගවල මිල ගණන්ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. මෙම සතියේදී මිල දී ගනු ලබන බෙහෙත් වර්ගය ලබන සතිය වන විටදී නැතහොත් තවත් සති 2 ක කාලයකින් ඔසුසලට ගිය විට එහි මිල ගණන් රුපියල් 10 කින් හෝ එයට වැඩි ගණනකින් වැඩි වී තිබීම වර්තමානයේ දක්‌නට ලැබෙන සුලබ තත්ත්වයක්‌ බවට පත් වී තිබේ.

නිරෝගී පුරවැසියා රටකට මහත් වූ සම්පතක්‌ බව නොකිවමනාය. එහෙත් ආහාරවල මිල ගණන් ඉහළ යන්නාක්‌ මෙන් බෙහෙත් වර්ගවල මිල ගණන්ද මෙසේ හිටි හැටියේ ඉහළ යැම තුළින් සිදු වනුයේ නිරෝගී පුරවැසියකු වෙනුවට රෝගී පුරවැසියන් වැඩි පිරිසක්‌ සමාජය තුළ ඇති කරලීමයි මෙය සැබැවින්ම රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් ඇති කරන තත්ත්වයකි. මේ වන විට රජයේ හා පුද්ගලික ඔසුසල් හරහා රෝගීන්ට අළෙවි කෙරෙන හෘද රෝග, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, ශ්වසන රෝග ඇතුළු ප්‍රධාන රෝගාබාධයන් සඳහා ලබා දෙන බෙහෙත් වර්ග මෙන්ම විටමින් වර්ගවලද මිල ගණන් ඉහළ යනුයේ කිසිදු දැනුම් දීමකින් තොරවමය.

මෙම තත්ත්වය මත අද බොහෝ රෝගීහු වෛද්‍යවරුන් විසින් තමනට මිලදී ගැනීමට නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග එක්‌කෝ මිල දී ගනුයේ නියම කරන ලද ප්‍රමාණයට අඩු ප්‍රමාණයකිනි. නැතහොත් එම බෙහෙත් වර්ග මිලදී නොගෙන සිටීමට හුරුපුරුදුව සිටිති. දැනටමත් රජයේ රෝහල් සායනවලට පැමිණෙන රෝගීන් බහුතරය එසේ පිටතින් මිලදී ගැනීමට නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග මිලදී නොගෙන සිටීමට. හුරු පුරුදුව සිටින අතර එයට හේතුවී ඇත්තේ බෙහෙත්වල අධික මිල ගණන්ය.

සාමාන්‍යයෙන් දියවැඩියා රෝගී සායනයකින් රෝගියෙකුට බෙහෙත් වර්ග 9 ක්‌ හෝ 10 ක්‌ නිර්දේශ කරනු ලබන අතර එම බෙහෙත් වර්ගවලින් 4 ක්‌ හෝ 3 ක්‌ම මිලදී ගැනීමට රෝගියාට සිදු වනුයේ පුද්ගලික අංශයෙන්ය. එහෙත් රෝගීන් වර්තමානයේ පෙළඹී සිටිනුයේ රජයේ රෝහල් සායනයෙන් නිකුත් කරනු ලබන බෙහෙත් වර්ග කිහිපය පමණක්‌ ලබා ගැනීමටය. මෙහි ප්‍රතිඵලය වනුයේ රෝගියාගේ රෝගී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමයි.

වර්තමානයේ රජයේ දියවැඩියා සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙකුගේ රුධිර ගත සීනි මට්‌ටම නිසි පරිදි පාලනය වී නොමැති බව පෙනී ගොස්‌ ඇති අතර එයට ආසන්නම හේතුවී ඇත්තේද නිසි පරිදි බෙහෙත් ලබා නොගැනීමයි. සැබැවින්ම රජයේ රෝහල් සායනය සඳහා ප්‍රවාහන ගාස්‌තු ගෙවා පැමිණ නැවත බෙහෙත්වලටද වැය කිරීමට තරම් ප්‍රමාණවත් මුදලක්‌ ඔවුන් සතුව නොපවතී.

රෝගීන් නිර්දේශ කරනු ලබන බෙහෙත් නොගැනීමේ අවාසනාවන්ත ප්‍රතිඵලය වනුයේ මෙරට සමාජය තුළ වැඩි වෙමින් පවතින බෝ නොවන රෝග තව දුරටත් වර්ධනය වීමයි. බෝ නොවන රෝග පිළිබඳව මහ ඉහළින් කථා කරන බලධාරීන් කෙසේ හෝ අහස උසට වැඩි වෙමින් පවතින බෙහෙත් මිල ගණන් ගැන කථා නොකිරීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

ඖෂධ මාµsයාව හා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව කිඹුල් කඳුළු හෙළන ඇතැම් සෞඛ්‍ය බලධාරීන් හට මෙසේ ඉහළ යන බෙහෙත් මිල අඩු කරලීමට සැබෑ වුවමනාවක්‌ නැත්තේ මන්දැයි යන්න ගැටලුවකි. මෙම බලධාරීහු එක්‌ පැත්තකින් මෙරට සමාජය තුළ බෝ නොවන රෝග වැඩි වෙමින් පවතින බව පවසමින් අනෙක්‌ පැත්තෙන් එම රෝගවලට ගොදුරු වූවන් ලබා ගන්නා බෙහෙත් පිළිබඳව අවධානයක්‌ යොමු නොකිරීම තුළින් ඔවුනගේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කරයි. පසුගිය වසරේදී මෙසේ වෙළෙඳපොළට නිකුත් කෙරෙන බෙහෙත් වර්ගවල නිශ්චිත මිල ගණන් බෙහෙත් ඇසුරුම්වල සඳහන් කරන බවට ප්‍රකාශ වුවද එය මෙතෙක්‌ ඉටු වී නොමැත. අනෙක්‌ අතට වැඩි වෙමින් පවතින බෙහෙත් මිල ගණන් මිල පාලනයකට යටත් කරන බවට බලධාරීහු එදා කළ ප්‍රකාශයන් මේ වන විට බොරුවක්‌ බවට පත්ව තිබේ. එවැනි මිල පාලනයක්‌ සඳහා සකස්‌ කරන බව කියූ මිල පාලන සූත්‍රයටද මේ වන විට සිදුවූ දෙයක්‌ නොමැත.

කෙසේ වුවද මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ කමිටුව විසින් පෙන්වා දෙනුයේ මෙහිදී වැඩි වෙමින් පවතින බෙහෙත් මිල ගණන් අඩු කරලීම කාලීන අවශ්‍යතාවක්‌ පැවැතියද එවැන්නක්‌ සිදු කළ යුත්තේ තවමත් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙමින් පවතින ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහා පමණක්‌ බවයි. ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් තොරව එහි අන්තර්ගත මිල පාලනය වැනි කොටස්‌ පමණක්‌ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත්නම් එයට තම කමිටුවේ බලවත් විරෝධය පළ කර සිටින බව වෛද්‍ය බණ්‌ඩාර මහතා කියයි.

ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නේ නම් මෙම බෙහෙත් වර්ගවල මිල අඩු කර ජනතාවට අඩු මිලට ගුණාත්මක බෙහෙත් වර්ග මිල දී ගැනීමේ අවස්‌ථාව පහසුවෙන්ම ළඟා කර දිය හැකිය. එහෙත් බලධාරීන් කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරවම එම ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් පවතී.

මෙසේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරනුයේ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම සඳහා ඇතැම් සෞඛ්‍ය බලධාරීහු බෙහෙත් සමාගම්වලින් රුපියල් මිලියන 50 ක පමණ මුදලක්‌ ලබා ගැනීම නිසා බවටද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තුළ මතයක්‌ ගොඩනැඟී තිබේ. කරුණු කෙසේ වුවද අප අසල්වැසි ඉන්දියාවේ මෙන්ම බංග්ලා දේශයේ පවා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මකව පවතී. එම රටවලට වඩා නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකාවේ තවමත් අපට ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තරම් එඩිතර පියවරක්‌ තැබීමට නොහැකි වීම අභාග්‍යයකි.

වර්තමානයේ රජයේ රෝහල්වල මෙන්ම ඔසුසල්වලින් පවා අසන්නට ලැබෙනුයේ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සොයා ගැනීමේ හා ඒවා විනාශ කිරීමේ සිද්ධීන්ය. පුද්ගලික අංශය හරහා ජනතාවට නිකුත් කරනු ලබන බෙහෙත් පෙත්තෙහි නැත්නම් සිරප් වර්ගයෙහි ගුණාත්මක බව කෙසේ වෙතත් ඒවායේ මිල ගණන් නම් වැඩි කිරීමට බලධාරීහු අමතක නොකරති.

මෙම තත්ත්වය මත රජය විසින් මෙසේ ඉහළ යමින් පවතින බෙහෙත් මිල ගණන් අඩු කරලීම සඳහා කඩිනම් පියවර ගත යුතුව තිබේ. බෙහෙත් මිල ගණන් ඉහළ ගොස්‌ තිබුණද රජයේ හා පුද්ගලික ඔසුසල්වල මේ වන විට බෙහෙත් හා එන්නත් වර්ග 180 ක පමණ හිඟයක්‌ හට ගෙන තිබේ. මේ නිසා පුද්ගලික අංශයෙන්ද රෝගීන්ට බෙහෙත් නියමිත පරිදි නොසැපයෙන තත්ත්වයක්‌ මතුව පවතී. මෙම කරුණු සැලකිල්ලට ගෙන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර වැඩි වෙමින් පවතින බෙහෙත්වල මිල පාලනය කිරීමටත් ගුණාත්මක බවින් ඉහළ බෙහෙත් වර්ග රෝගීන් අතට පත් කරලීමටත් බලධාරීහු වහා පියවර ගත යුතුව ඇත. එසේ නොකොට බෙහෙත් මිල ඉහළ ගොස්‌ නැතැයි පවසමින් යථාර්ථය වසා දැමීමට ඔවුන් උත්සාහ දරන්නේ නම් එය රෝගීන්ට අහිතකර අන්දමින් බලපානු නොවැළැක්‌විය හැකි වනු ඇත.

ඒමන්ති මාරඹේ
emanthim@gmail.com
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.