නඩු යාම සහ මිය යාම
(ඉඩම් නඩු පිළිබඳ ආත්මීය කතාව)


කොළඹ අලුත්කඩේ උසාවියේ නඩුවකට සහභාගි වෙමින් සිටියදී වැළඳුන හෘදයාබාධයකින් 63 හැවිරිදි කේ. එම්. භද්‍රවතී මාතාව තමන් හිඳ සිටි අසුන මතම මිය ගියාය. ඇය සහභාගි වෙමින් සිටියේ තමන්ද පාර්ශ්වකාරියක වූ ඉඩම් නඩුවකටය. මේ නඩුව පවරන ලද්දේ 1982 දීය. එවිට ඇගේ වයස අවුරුදු 33 කි. එම ඉඩම් නඩුව අසන්නට පටන්ගෙන මේ අවුරුද්දට අවුරුදු 30 කි. එහි තේරුම පසුගිය සහස්‍රයේ අවසන් දශකයේ පටන්ගත් මේ ඉඩම් නඩුව දැනට ගෙවෙමින් පවත්නා නව සහස්‍රයේ දෙවැනි දශකයට ද එළැඹුණු බවය. මේ නඩු විවිධ හේතූන් මත අවුරුදු 17 ක්‌ කල් ගිය බැව් දැනගන්නට ඇත. ප්‍රධාන පාර්ශ්වකාරියකගේ මියයැමෙන් පසු එය තවත් කල් යන්නට ඉඩ තිබේ. සමහර විට එහි පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් උසාවියේ ආසන මත මියයන තුරුම එය කල් යන්නට හෝ විභාග වන්නට ඉඩ තිබේ. ඒ පරම්පරාව මියගිය විට නව යුගයක්‌ උදාවනවා ඇත. ඒ වූ කලී දෙවැනි පරම්පරාව අතට ඉඩම් නඩුව යැමය.

මිනිස්‌සු පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන දේවල් කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් අප මුල් තැන දිය යුත්තේ පාරම්පරික දැනුමටය. ඊළඟට මිනිස්‌සු පරම්පරාවෙන් පරම්පරාවට මිල මුදල් ගෙන යති. තුන්වනුව ඉඩකඩම් ගෙන යති. සිව්වනුව පරණ කෝන්තර ගෙන යති. පස්‌වනුව ඉඩම් නඩු ගෙන යති.

පරණ කෝන්තර සහ ඉඩම් නඩු යනු සමාන්තර ගමනක යෙදෙන කටයුතුය. ඉඩම් නඩුවක පැමිණිල්ල සහ විත්තිය නඩු නිමිත්ත හෙවත් ඉඩම් ආරවුල නිසා එකිනෙකා කෙරෙහි වෛරයෙන් පසුවෙති. සමහර විට සීයා පටන් ගත් වෛරය මුණුපුරාත් සමඟ උසාවි යන අවස්‌ථා තිබේ. එක කුස ඔත් සොයුරු සොයුරියෝ ඉඩම්වලට නඩු කියා ගනිති. සමහර විට පර්චස්‌ හයක්‌ වෙනුවෙන් හෝ වී පෑලක ඉඩම් වපසරියක්‌ වෙනුවෙන් අයියා සහ ඔහුගේ දරුවන් විසින් මල්ලී හෝ ඔහුගේ පවුලේ අය සංහාරය කෙරුණු අවස්‌ථා ඇත.

ඇතැම් නීති තද මදි බව ඇත්ත නීතිපති දෙපාර්තමේන්තුව හා රස පරීක්‍ෂක වෙතින් වාර්තා ගෙන්වා ගැනීමේදී ඇතැම් විට ජීවිත කාලයක්‌ ගත වන බවත් ඇත්ත අපරාධකාරයන් නොඑල්ලන බවත් ඇත්ත. එහෙත් අපට ඉතා හොඳ සංවිධානාත්මක නෛතික ක්‍රමයක්‌ තිබේ. වොල්වෝ කාර්වල යන කෝටිපති නීතිඥයන්ගේ මිල අධික වාසනාවන්ත සේවය අපට තිබේ. ඒ අනුව නීතිය ගැන නම් තඹ සල්ලි භාගයක වරදක්‌ කීමට බැරිය. එහෙත් මිනිසුන් රස්‌තියාදු කිරීමටත් නඩු කල් ඇදගෙන යැමටත් සැලසුම් කරන කපටි සොරුන් නිසා උසාවි යන වචනය පවා ඇසීම සාමාන්‍ය දුගී ජනයා තුළ පීඩාකාරී මානසිකත්වයක්‌ ඇති කරයි. උදාහරණයක්‌ ලෙස සිවිල් නඩුවක්‌ ගනිමු. නඩුව විභාගයට ගත් විට විත්තිය උසාවි එන්නේ නැත. ඒ වෙනුවට විත්තිකරු රෝගීව සිටින බව කියෑවෙන වෛද්‍ය සහතිකයක්‌ උසාවියට ඉදිරිපත් කෙරෙයි. මෙසේ තුන් වාරයක්‌ නීත්‍යනුකූල ලෙස උසාවිය මඟහරින විත්තිකරු හතරවැනි වතාවේදී තමන් නඩුවට සූදානම් නැති බව කියමින් කල් ඉල්ලයි. මෙයින් පසුව ද ලිපි ලේඛනවල අඩුපාඩු, සාක්‍ෂිකරුවන්ගේ අඩුපාඩු යනාදිය නිසා නඩුව කල් යයි. අවුරුදු තිහ හතළිහ තිස්‌සේ කල් යන නඩු අපේ රටේ තිබේ. මෙහි වැදගත්ම ලක්‍ෂණය වන්නේ නඩුව පටන් ගන්නා විට විත්තිය හෝ පැමිණිල්ල මෝටර් රථයේ යන අතර නීතිඥතුමා බස්‌ රියේ යැමත්, නඩුව අවසන් වන විට විත්තිය හෝ පැමිණිල්ල බස්‌ රියේ හෝ පයින් යන අතර නීතිඥතුමා වොල්වෝ, බෙන්ස්‌, ක්‍රයිස්‌ලර් වැනි රථයක යැමත් ය.

ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, අප්‍රිකාවේ රටවල් යනාදියෙහි අධිකරණ කටයුතුවල තත්ත්වයත් මෙසේම ය. ඉන්දියාවේ භූපාල් නගරයේ පිහිටි ඇමරිකන් සමාගමකට අයත් සමාගමකින් නිකුත් වූ විස වායු කාන්දුවක්‌ නිසා මෙයට වසර 28 කට පෙර අසරණ මිනිසුන් දහස්‌ ගණනක්‌ මැරී ලක්‍ෂ ගණනක්‌ සදාකාලික රෝගීහු වූහ. අවුරුදු විසි ගණනක්‌ තිස්‌සේ ඒ පිළිබඳව නඩු අසන ලද අතර තීන්දුව දෙන ලද්දේ ඊයේ පෙරේදා ය. තීන්දුවට අනුව වසර දෙකකට සමාගමේ සභාපතිගේ ඇඟ බඳින ලදී. ඒ අතින් නම් ලංකාව හොඳ ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.