මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අද සංකේත වර්ජනයක

මාතලේ විශේෂ -
නිමල් ගුණතිලක


දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අද (10 දා) සංකේත වැඩ වර්ජනයකට එක්‌වෙති. නිල ඇඳුම් දීමනාව, කාර්යාල දීමනාව සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීම සඳහා බලධාරීන් දුන් පොරොන්දු කඩ කිරීමට විරෝධය දැක්‌වීමට මේ වැඩවර්ජනය සිදුකෙරේ.

අද ක්‍රියාත්මක සංකේත වැඩවර්ජනයට බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් ලබන 17 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්‌ඩාර මහතා "දිවයින" ට පැවැසීය.

ඉකුත් මැයි මාසයේ සිට ජුලි මාසය දක්‌වා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් වාර්තා ලබා නොදී වර්ජනයක නිරත වුවද මහා භාණ්‌ඩාගාරයේ සහ සෞඛ්‍ය ලේකම්වරුන් විසින් ලබාදුන් පොරොන්දු මත සිය සේවාවන් යළි ආරම්භ කර ඇත.

මේ වනවිට නිල ඇඳුම් දීමනාව ලෙස රුපියල් දස දහසක්‌ ලබාදෙන අතර එම මුදලින් නිල ඇඳුම් කට්‌ටල 04 ක්‌ මසා ගත යුතුව තිබේ. දීමනාව ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති. ඉන්ධන දීමනාව මාසිකව රුපියල් 12,000 කි. ග්‍රාම සේවක වසම් 10 - 25 ක සේවා ආවරණය සඳහා මෙම මුදල ප්‍රමාණවත් නොවන බවත් යතුරු පැදි නඩත්තුව සඳහා ද තමන්ට මුදල් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.

කාර්යාල දීමනාව මාසිකව රුපියල් 100 කි. මේ දීමනාව වර්තමානයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් නාගරික ප්‍රදේශයක කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා සිය මාසික වැටුපෙන් අමතර මුදල් ගෙවීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය පරීක්‍ෂකවරු පවසති.

බෝවන රෝග, පාසල් සෞඛ්‍ය, ප්‍රාථමික සෞඛ්‍ය, ආහාර සෞඛ්‍ය ඇතුළු සේවාවන් රැසක්‌ නාගරික සහ ග්‍රාමීය මට්‌ටමින් තමන් අතින් සිදුවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්‌ඩාර මහතා කියා සිටියේ බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් අකැමැත්තෙන් වුවත් ලබන 17 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ද කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.