ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයෙන්
බටහිර ඖෂධ නිකුත් කරලා

ප්‍රභාත් විතාන

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන මුමාවෙන් බටහිර ඖෂධ නිකුත් කළ ආයුර්වේද වෛද්‍යවරයකු විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා (12 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ කැඩුම් බිඳුම් රෝගීන් සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව බෙහෙත් නිකුත් කරන මුවාවෙන් මෙම වෛද්‍යවරයා බටහිර ඖෂධ රෝගීන් වෙනුවෙන් නිකුත් කර තිබෙන බව එම අධිකාරියේ නිලධාරියෙක්‌ දිවයිනට පැවසීය.

මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය පරීක්‍ෂා කළ එම නිලධාරීන් එහි තිබී ප්‍රතිජීවක ඖෂධ, ස්‌ටීරෝඩ්, දියවැඩියාවට සහ අධික රුධිර පීඩනයට ලබා ගන්නා ඖෂධ, ක්‍රීම් වර්ග විශාල තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂයකට අධික බවත් එම නිලධාරියා කියා සිටියේය.

මෙම වෛද්‍යවරයා බටහිර ඖෂධ නිකුත් කිරීම නීති විරෝධී බවත් ඔහුට බටහිර ඖෂධ ලැබුණු ආකාරය පිළිබඳව විමර්ෂන කටයුතු සිදු කරන බවත් ඉන් අනතුරුව මොහු අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා ප්‍රකාශ කර සිටියේය.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස්‌ මත එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන අමිත් පෙරේරා, එල්. ඩී. ඉන්ද්‍රසේනර, කොළඹ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.