මරණ බයයි - ප්‍රශ්න ගොඩයි
වැඩ නොවරයි - අපි එහෙමයි

ගිලන් රථ රියෑදුරන්ගේ කතා වස්‌තුව...


සයිරන් නළා හඬින් හදවත ගැස්‌සෙයි. රතු පැහැති සංඥා එළි ඇස්‌ නිලංකාර කරවන අයුරකි. රථය වේගවත් ගමනකය. රථය තුළ දෙලොවක සිර වුණු රෝගියෙකි. ජීවිතය යදින ඒ රෝගියා ඔබේ මව, පියා, දරුවකු හෝ සොහොයුරු සොයුරියක විය හැකිය. මේ සියලු වගකීම් හිස මතට ගෙන රථයේ රියෑදුරු අධිවේගී ගමනකය. ඒ ඔවුන්ගේ ජීවිත ජීවත් කරවීමට පමණක්‌ නොව, මිලිනව යන තවත් ජීවිතයකට ජීවය දීමට පිළිසරණක්‌ වීමටය.

ඒ අධිවේගී ගමනේදී උස්‌-පහත්, ලොකු-කුඩා, ලිංග බේද කිසිවක්‌ ඔවුන්ට වැදගත් නැත. ඔවුන්ගේ එකම අරමුණ රෝගියාගේ ජීවිතය බේරාගැනීම පමණි. බිය... සැකය... ත්‍රාසය... කරුණාව... අපේක්‍ෂාව... සතුට සියල්ල සිත තුළ කැටිකර ගනිමින් ඔවුන් ගමන් කරන්නේ ඒ ඉලක්‌කය වෙතය.

මෙලෙසින් ජීවිත බේරාගැනීමට අධිවේගී ගමනක නිරත වී සිටින ඔවුහු කවරහුද?

සෞඛ්‍ය ගිලන් රථ රියෑදුරන්ය.

කිසිම මාධ්‍යයකින් කතා නොකරන මේ අධිවේගී මිනිසුන් සොයාගෙන පසුගිය දිනක අපි සෞඛ්‍ය අමාත්‍යංශයට ගියෙමු. කෙටි ගමනකින් පසු සෞඛ්‍ය අමාත්‍යංශය අසල අපගේ වෑන් රථය නතර කරන විටත්, ඒ වේගවත් මිනිස්‌සු අපව බලාපොරොත්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රැඳී සිටියහ. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ වේගවත් මිනිසුන් සමග අප කළ කතාබහකි.

දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ලෝකයේ සෑම රටක්‌ම පාහේ රෝහලකින් තවත් රෝහලකට අසාධ්‍ය රෝගීන් මාරු කර යෑවීමට විශේෂිත වූ වාහනයක්‌ භාවිත කිරීමට පටන් ගත්හ. එය ගිලන් රථ සේවාව යනුවෙන් හඳුන්වනු ලැබිණි. ලෝකයේ දියුණුවත් සමග ප්‍රාථමික මට්‌ටමේ තිබුණු ගිලන් රථ සේවාව දියුණු සේවාවක්‌ බවට පත් කිරීමට දියුණු රටවල් උත්සුක විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රථම වරට පුහුණු ශ්‍රමිකයන් සහ වෛද්‍ය ප්‍රතිකාර සමග රෝගීන් ප්‍රවාහනය කිරීමේ DRAB ක්‍රමවේදය ඔස්‌ටේ්‍රලියාව විසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. එසේ දියුණුවෙන් දියුණුවට පත්වෙමින් ආ සෞඛ්‍ය ගිලන් රථ සේවාව අද ලෝකයේ ජංගම රෝහල් සේවාවක්‌ බවට දියුණු වී තිබේ. ලෝකයේ ගිලන් රථ සේවාවෙහි ඉතිහාස කතාව එසේ ලියවෙද්දී, අපි මෙරට ගිලන් රථ සේවාවේ ආරම්භය ගැන මොහොතක්‌ කතා කරමු.

එවකට පැවති බණ්‌ඩාරනායක රජය 1947 වර්ෂයේදී මෙරට සෞඛ්‍ය අංශයට ද ගිලන් රථ සේවාව හඳුන්වාදෙනු ලැබිණි. එදා ගිලන් රථ රියෑදුරන් දහතුන් දෙනකුගෙන් යුත් කණ්‌ඩායමකින් ආරම්භ කළ මෙරට ගිලන් රථ සේවාව දැන් මෙපමණ යෑයි කිවනොහැකි තරමටම ගිලන් රථ රියෑදුරන් රජය මෙන්ම පෞද්ගලික වෛද්‍ය සේවාවෙහිද නිරත වී සිටිති. එමෙන්ම මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල පමණක්‌ ගිලන් රථ රියෑදුරන් 1860 දෙනකු සේවයෙහි නියුක්‌තව සිටිති.

කෙසේ වෙතත් රියෑදුරු බලපත්‍රයක්‌ තිබුණු පමණින් ගිලන් රථයක්‌ ධාවනය කළ නොහැකිය. එමෙන්ම ගිලන් රථයක්‌ ධාවනය කිරීම යනු භාරදූර කාර්යභාරයකි. දිනකට, රිය අනතුරු නිසා මිනිස්‌ ජීවිත හය හතකට ආසන්න ප්‍රමාණයක්‌ විනාශ වී යන රටක, මහ මාර්ගයේ අධි වේගයෙන් ගිලන් රථයක්‌ පදවාගෙන යැම සැබැවින්ම අවදානම් ගමනකි. ඒ අධිවේගී ගමන යන රියෑදුරන් විශේෂ පුහුණුවක්‌ ලත් පුද්ගලයන් විය යුතුමය.

රජයේ සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ රියෑදුරෙක්‌ වීමට නම් ඔහු අනිවාර්යයෙන්ම වසර දහයක්‌ පමණ සාමාන්‍ය වාහනවල රියෑදුරකු සේ සේවය කර තිබිය යුතුය. එසේ සේවා කාලය සම්පූර්ණ කළ රියෑදුරෙකුට රාජ්‍ය සෞඛ්‍ය අංශයේ පළමු ශ්‍රේණියේ ගිලන් රථ රියෑදුරු සේවයට ඉල්ලුම් කළ හැකිය. එසේ ඉල්ලුම් කරන රියෑදුරෙකු තවත් සුදුසුකම් කිහිපයක්‌ම සම්පූර්ණ කළ යුතුව ඇත. ඒවා නම් මෙසේය.

පරිපූරක වෛද්‍ය පුහුණු පාඨමාලාව, විකලාංග හදිසි අනතුරු රෝගී ප්‍රවාහන පාඨමාලාව, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ගිලන් ශිල්පී පාඨමාලාව, ක්‍රමවත් රෝගී ප්‍රවාහන ක්‍රම හා ආරක්‍ෂාකාරීව ප්‍රවාහන පුහුණු පාඨමාලාව, සෞඛ්‍ය අධ්‍යාපන ගිලන් රථ පුහුණු පාඨමාලාව, උසස්‌ රිය පැදවීමේ පුහුණු පාඨමාලාව සහ මෝටර් රථ කාර්මික පුහුණු පාඨමාලාව යන පාඨමාලා හත ගිලන් රථ රියෑදුරෙකු අනිවාර්යෙන්ම හදාර තිබිය යුතුය. නමුදු සේවා අවශ්‍යතා මත රජයේ සෞඛ්‍ය අංශයේද මෙම පුහුණුවීම් හතම සම්පූර්ණ නොකළ රියෑදුරන් ද ගිලන් රථ සේවයේ යෙදී සිටිති. ඔවුන් ද ඉහත සඳහන් පුහුණුවීම් හතෙන් හතරක්‌ හෝ සම්පූර්ණ කළ ඉතුරු පාඨමාලාවන් හදාරමින් සිටින රියෑදුරන් බව රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන හා රියෑදුරු සංගමයේ සභාපති කේ. ජී. සුමනදාස මහතා අපට පැවසීය.

රාජ්‍ය සෞඛ්‍ය අංශයේ ගිලන් රථ රියෑදුරන් එසේ සුදුසුකම් සම්පූර්ණ කළ අය වුවද, මෙරට ගිලන් රථ ධාවනය කරවන සියලුම රියෑදුරන් අප ඉහත පැවසූ සුදුසුකම් සියල්ලම සම්පූර්ණ කර ඇතැයි කිව නොහැකිය. නමුදු ගිලන් රථයක්‌ මහ මාර්ගයේ ධාවනය කිරීමට නම් රියෑදුරු බලපත්‍රයට අමතරව ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ගිලන් ශිල්පී පාඨමාලාව හෝ අනිවාර්යයෙන්ම හදාරා තිබීම නම් අනිවාර්යය.

ගිලන් රථ රියෑදුරන් අප ඉහත පැවසූ සුදුසුකම් සම්පූර්ණ කළ යුත්තේ රෝගියාගේ යහපත පිණිසය. මන්ද රෝහලකින් තවත් රෝහලකට මාරු කර යෑවීමට ගිලන් රථයකට පටවන රෝගියාගේ මෙන්ම එහි ගමන් කරන අනෙක්‌ අයගේ ජීවිතවල වගකීම පැවරෙන්නේ ද ගිලන් රථයේ රියෑදුරු හටය. එසේ නම් ගිලන් රථ රියෑදුරන් මත වගකීම් කන්දරාවකි. ඒ වගකීම් සියල්ලම හිස මතට ගෙන මහ මග වාහන තදබදය, වේග සීමාව සියල්ලම කෙරෙහි අවධානය යොමු කරමින් වෛද්‍යවරයා නිර්දේශ කළ රෝහලට රෝගියාව භාර දිය යුත්තේ ගිලන් රථ රියෑදුරා විසින්ය.

රෝහලක සිටින අසාධ්‍ය රෝගියකුව වෙනත් රෝහලකට මාරු කර යෑවීමට නිර්දේශ කරනු ලබන්නේ වෛද්‍යවරයකු විසිනි. එහිදී රෝගියාගේ අසාධ්‍ය තත්ත්වය මත රෝගියා ඉක්‌මනින් ගෙන යා යුතුද? හැකි ඉක්‌මනින් ගෙන යා යුතුද කියා වෛද්‍යවරයා තීරණය කරනු ඇත. වෛද්‍යවරයාගේ තීරණය අනුව සෞඛ්‍ය ගිලන් රථ රියෑදුරන් රෝගීන්ව ප්‍රවාහනය කරනු ලැබේ. රෝගියා සමග ගිලන් රථය තුළ ගමන් කළ යුත්තේ කවරහුද කියා තීරණ වන්නේද වෛද්‍යවරයාගේ නිර්දේශය මතයි. ඉක්‌මනින් ගෙන යා යුතු රෝගියෙක්‌ නම් ගිලන් රථ රියෑදුරු හැරෙන්නට රිය සහායක සහ හෙද නිලධාරිනියක්‌ ගිලන් රථය තුළ ගමන් කරනු ලැබේ. හැකි ඉක්‌මනින් ගෙන යායුතු යෑයි වෛද්‍යවරයා තීරණය කරන රෝගියකු සමග ගිලන් රථයේ රියෑදුරු හැරෙන්නට රිය සහායක, හෙද නිලධාරිනියක්‌ සහ වෛද්‍යවරයකු ගමන් කරනු ලැබේ. එමෙන්ම රෝගියාගේ රෝගී තත්ත්වය මත ගිලන් රථයද වෙනස්‌වනු ඇත. අසාධ්‍යම රෝගියෙක්‌ව ගෙන යනු ලබන්නේ අංගසම්පූර්ණ ජංගම රෝහලක්‌ බඳු ගිලන් රථයක්‌ තුළය. අවදානම අවම රෝගීන්ව සාමාන්‍ය ගිලන් රථ මගින් ප්‍රවාහනය කරනු ලැබේ.

ගිලන් රථයක්‌ මගින් රෝගියකුව ප්‍රවාහනය කළ යුතු යම් ක්‍රමවේදයක්‌ තිබේ. රෝගියාව ගිලන් රථයට නංවාගැනීම, බිමට බෑම පවා සිදු කළ යුත්තේ ක්‍රමවේදයකට අනුවයි. එමෙන්ම ගිලන් රථය ධාවනයේදී තිරිංග තද කිරීම වුවද සිදු කළ යුත්තේ ඉතාම පරිස්‌සමිනි. එවැනි ක්‍රමවේදයක්‌ අනුගමනය නොකළහොත් සුවපත් කිරීමට හැකි රෝගීන් පවා දැඩි අවදානම් තත්ත්වයට පත් විය හැකිය. එමෙන්ම රෝගියෙක්‌ කොතරම් අසාධ්‍ය තත්ත්වයේ සිටියද, සයිරන් නළාව නාද නොකර මාර්ගයේ ගිලන් රථය ධාවනය කිරීමට හැකි නම් එය වඩාත් යහපත්ය. පළපුරුදු ගිලන් රථ රියෑදුරකු රෝගියකු සමග ගිලන් රථයක්‌ මාර්ගයේ ධාවනය කිරීමේදී හැකි තරම් උත්සාහ කරන්නේ සයිරන් නළාව නාද නොකර විදුලි සංඥ එළියෙන් පමණක්‌ මාර්ගයේ ඉඩ ලබාගැනීමටය. මන්ද, ගිලන් රථයක්‌ තුළ ගමන් කරන්නේ රෝගියෙකි. ඒ රෝගියාව වෙනත් රෝහලකට මාරු කර යැවීමට ගිලන් රථයකට පැටවීමම යනු ඒ රෝගියාගේ මානසික මට්‌ටම බින්දුවට වැටීමකි. රෝගියා ගිලන් රථය තුළ සිටින කාලය අතරතුර සයිරන් නළාව නාද වෙන සෑම මොහොතක්‌ පාසාම ඔහුගේ සිත තව තවත් ඔත්පල වන බව නම් නිසැකය. ඒ නිසා රෝගියා කොතරම් අසාධ්‍ය තත්ත්වයේ සිටියද ඔහුගේ රෝගී තත්ත්වය රෝගියාට දැනෙන්නට නොදී රෝහලට ගෙන යැමට ගිලන් රථ පදවන්නන් උත්සාහ කරති.

"වාහන තදබදයකදී කරන්න දෙයක්‌ නැතිම තැන අපි සයිරන් නළාව නාද කළාම පාරෙ ඉන්න පොලිස්‌ නිලධාරින් හිතනවා අපිට ඉක්‌මනට යන්න ඕනා නිසා නළා ගහනවා කියලා. අපි එහෙම කරන්නේ නැහැ. ඒත් රටේ ඉන්න හැම ගිලන් රථ රියෑදුරෙක්‌ම ගිලන් රථයක්‌ තුළ රෝගීන් නැතුව සයිරන් නොගහනවා කියලත් අපට කියන්න බැහැ. වෘත්තියේ ගරුත්වයක්‌ ඇතිව සේවාවේ වටිනාකම දැනගෙන ගිලන් රථ පදවන අය නම් එහෙම කරන්නේ නැහැ"

"ගිලන් රථය තුළ රෝගීන් නොමැතිව රියෑදුරුයි, රිය සහායකයි පමණක්‌ සයිරන් නළා නාද කරගෙන ගමන් කරන අවස්‌ථා තියෙනවා. ඒ යන්නේ වෙනත් රෝහලක අසාධ්‍යව සිටින රෝගියෙක්‌ව ගෙන එන්නයි. ඒ වගේ අවස්‌ථාවලදී පොලිසියෙන් ගිලන් රථය නතර කරන අවස්‌ථාත් තියෙවා. එතකොට අපි කරන්නේ පොලිස්‌ නිලධාරියාට සිද්ධිය කෙටියෙන් පැහැදිලි කර දීලා අපේ හැඳුනුම්පත් අංකයයි, වාහනෙ අංකයයි දීල එතුමාගේ අංකයත් ඉල්ලගෙන රෝගියා සිටින රෝහලට යැමයි. අපේ රාජකාරිය ඉවර කරලා පොලිස්‌ නිලධාරියාව මුණගැහිලා ගැටලුව විසඳ ගන්නවා." මහ මගදී පොලිසියත් සමග ඇති වන ගැටලු නිරාකරණය කරගන්නා අයුරු රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන හා රියෑදුරු සංගමයේ සභාපති කේ. ජී. සුමනදාස මහතා එසේ පවසද්දී, එම සංගමයේම ප්‍රධාන සංවිධායක පී. ජී. අනුර ප්‍රේමලාල් මහතා මෙවැන්නක්‌ පැවසීය.

"මම යුද්දෙ කාලේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදිලා හිටියේ මන්නාරම ප්‍රදේශයේ. ඒ දවස්‌වල හදිසි අවස්‌ථාවලදී අපිට පැවරිලා තිබුණෙ අනුරාධපුර රෝහලේ ඉඳලා මන්නාරමට වෛද්‍යවරු ප්‍රවාහනය කරන්නයි. එහෙම වෛද්‍යවරු අරගෙන යන වේලාවට වෛද්‍යවරයාට විනාඩි 5 න් 5 ට වගේ කෝල් එනවා. වෛද්‍යවරයා රෝගියා ළඟ ඉන්න වෛද්‍යවරුන්ට මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා උපදෙස්‌ දෙනවා. මට තේරෙනවා රෝගියාගේ තත්ත්වය එන්න එන්නම බරපතළ තත්ත්වයට වැටෙනවා කියලා. මමත් වේගය වැඩි කරනවා. ඒත් වෛද්‍යවරයා මට කියන්නේ නැහැ, ඉක්‌මනට යමු කියලා. මොකද අපි යන වේගය ගැන වෛද්‍යවරයා දන්නවා. මම තව තවත් වේගය වැඩි කළොත් මගේ අතින් වාහනයේ පාලනය ගිලිහී යනවා කියලත් වෛද්‍යවරයා තේරුම් ගෙනයි හිටියේ. ඒ නිසා වේගයෙන් යමු කියලා කවදාවත් වෛද්‍යවරු මට කියලා නැහැ"

"ඒ වගේ අවස්‌ථාවලදීත් අපිව පොලිසියෙන් නවත්වලා අහනවා කෝ රෝගියා... රෝගියෙක්‌ නැතිව සයිරන් ගහගෙන යන්නෙ කොහොමද?... පොලිසියෙන් දෝස්‌ මුරයක්‌ දානවා. වෛද්‍යවරයා ඉදිරිපත් වෙලා සිදුවෙලා තියෙන දේ පැහැදිලි කළාට පස්‌සෙ තමයි එතැනින් අපට යන්න අවසර ලැබෙන්නේ"

සමාජයේ බොහෝ දෙනෙක්‌ දැනුවත්ව සිටින්නේ ගිලන් රථයක්‌ මගින් ප්‍රවාහනය කළ හැක්‌කේ රෝගීන් පමණයි සිතාය. නැත... හදිසියකදී වෛද්‍යවරුන්, බෙහෙත් වර්ග, වෙනත් රෝහලක සිටින රෝගීන් ගෙනඒමට සහ ලේ ප්‍රවාහනය සඳහා ද ගිලන් රථ භාවිත කරනු ලැබේ.

හදිසි ලේ ප්‍රවාහනයකදී ගිලන් රථය තුළ ගමන් කළ හැක්‌කේ සෞඛ්‍ය සේවා රියෑදුරු සහ රිය සහායක පමණි. එහිදී ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවේ වම් කෙළවරේ "හදිසි ලේ ප්‍රවාහනය" යනුවෙන් දැනුම් දීමක්‌ද සිදු කරනු ලැබේ.

එමෙන්ම ගිලන් රථයක රියෑදුරු අසුනට වම් පස අසුනේ ගමන් කළ හැක්‌කේ රිය සහායකයාට පමණි. කිසිදු හේතුවක්‌ මත වෙනත් කිසිවකුට ඒ අසුනේ ගමන් කිරීමට ද නොහැකිය. එම අසුනේ හිඳගෙන යන සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යමණ්‌ඩල සේවකයාට ද රෝගියෙක්‌ ප්‍රවාහනය කිරීමේදී ඉටු කිරීමට විශේෂිත වූ කාර්යභාරයක්‌ ඇත. එනම් ගිලන් රථය මාර්ගයේ ගමන් කරවන විට මාර්ග තදබදයකදී හෝ රථය වෙනත් මාර්ගයකට හැරවීමේදී රථයෙන් ඉවතට අත දමා මාර්ගයේ ධාවනය කරන අනෙකුත් වාහනවලට ගිලන් රථයෙන් හදිසි රෝගියෙක්‌ ප්‍රවාහනය කරන බව දැනුම් දිය යුත්තේ ඔහුය.

සෞඛ්‍ය ගිලන් රථ රියෑදුරන් මෙන්ම ගිලන් රථ තුළ ගමන් කරන අනෙකුත් නිලධාරීන් ද සමාජයට කොතරම් මානුෂීය මෙහෙවරක්‌ ඉටු කළ ද, ජීවිත බේරාගැනීමට දිවි පරදුවට තබා වේගවත් ගමනක නිරතව සිටියද, ගිලන් රථ රියෑදුරන්ට ද එක්‌ රෝගියෙක්‌ නිසා මාර්ගයේ ගමන් කරන පදිකයන් හෝ දේපළවලට හානි කිරීමට නොහැකිය. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ගිලන් රථයක්‌ මාර්ගයකදී අනතුරක්‌ වුවහොත් දණ්‌ඩ නිතී සංග්‍රහයේ 74 වගන්තිය යටතේ ගිලන් රථ රියෑදුරාට සහනයක්‌ ලබාදී ඇත. ඒ සහනය හිමි වන්නේ ද අනතුර සිදු වන මොහොතේ ගිලන් රථය තුළ හදිසි රෝගියකු සමග රථයේ සියලුම උපාංග ක්‍රියාත්මක වී තිබුණහොත් පමණි. එමෙන්ම මෝටර් රථ ආඥපනත යටතේ ගිලන් රථවලට වේග සීමා පනවා නැති බව සැබෑය. නමුදු මාර්ගයක වාහනයක්‌ පැදවීමේදී අනුගමනය කළ යුතු අනෙකුත් නිතී සියල්ලම ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය. එසේ නොවුණහොත් ඔහු කොතරම් මානුෂීය මෙහෙවරක යෙදී සිටියද ඔහුටද නිතීය ක්‍රියාත්මක වනු නියතය.

"මහත්තයෝ අපි සමාජයට මොන මෙහෙවර කළත්, අපි සේවය කරන්නේ ආයතන කිහිපයකම නිතීවලට යටත් වෙලා. මහ මගදී පොලිස්‌ නිලධාරීන් එහෙන් සැර දානවා. අපෙන් පොඩි වරදක්‌ වෙලා උසාවියට ගියොත් නිතිය ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. අනතුරක්‌ වුණොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වගඋත්තර බඳින්න ඕනා. බලන්න අපි මොනතරම් අසරණ වෙලාද කියලා. ඒ වගේම අපි ජීවිත කීයකට නම් වගකියන්න ඕනද? රෝගියාගේ ජීවිතයට, ගිලන් රථය තුළ ගමන් කරන අනෙකුත් අයගේ ජීවිතවලට, ඒත් මහත්තයෝ අපේ සේවයට නිසි වටිනාකමක්‌ ලබාදී නැහැ. අපිව හැමදාම තියන්නේ පහතට දාලා. 1947 සිට 2005-12-31 වැනිදා වන තෙක්‌ සෞඛ්‍ය ගිලන් රථ රියෑදුරු සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකරු සමාන්තර ශ්‍රේණි කියන ගණයට පත් කරලා තිබුණා. ඒ කාලෙ අපිටත් ලිපිකරුවකුගේ වැටුපම ලැබුණා. දැන් අපේ වෘත්තිය එතනිනුත් පහළට දාලා. අපි ජනතාවට මොන විදිහෙ සේවයක්‌ සලසා දුන්නත් අපිට කිසිම තැනකින් ඇගයීමක්‌ නැහැ. ඒත් අපේ වෘත්තීයට සාධාරණයක්‌ ඉටු කරන්න කියලා අපි උද්ඝෝෂණ කරන්නෙ නැහැ. අපේ සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌. අපිට කවුරු කොහොම සැලකුවත් අපේ රාජකාරිය දේවකාරියක්‌ ලෙස හිතල අපි ජනතාවට සේවය කරනවා"

ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අපට නොහැකි මුත් එය සටහන් කර තැබීමට අපට හැකිය.

අවසානයේ අපි ඒ වේගවත් මිනිසුන්ට මෙසේ කියමු.

ලෝකය නමැති චක්‍රය තුළ සත්වයා වෙහෙසකර ගමනක නිරත වී සිටිති. ඒ චක්‍රය තුළින් පිට පැනීම අසීරු කාර්යයකි. එහෙත් ඔබ මනුෂ්‍ය ජීවිත බේරා ගැනීමට වේගවත් ගමනක නිරත වෙමින් රැස්‌ කරගන්නා පින් මහිමයෙන් ඔබට කවුරු කොහොම සැලකුවත් ඔබට ඒ චක්‍රයෙන් මිදීමට නම් හැකි බව මොහොතකට හෝ අමතක නොකරන්න.

උපාලි ද සේරම්
තරංග රත්නවීර
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.