කන්තලේ මූලික රෝහලේ ශල්‍යාගාරයේ ගින්නක්‌

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

කන්තලේ මූලික රෝහලේ ශල්‍යාගාරයට අයත් කාමරයක්‌ තුළ 15 දා අලුයම 1.00 ට පමණ හටගත් ගින්නෙන් හානි සිදුවී ඇතැයි එහි වෛද්‍ය අධිකාරි ඩී. ජී. එම්. කොස්‌තා මහතා පැවසීය.

වැඩිදුරටත් කරුණු දක්‌වමින් වෛද්‍ය අධිකාරිවරයා මෙසේද පැවසීය. විදුලි කාන්දුවීමක්‌ නිසා පාන්දර 1.00 ට පමණ මෙම ගින්න හට ගන්නට ඇතැයි විශ්වාස කරන බවත් එම ගින්නෙන් ශල්‍යාගාර කාමරයට සිදුවූ හානිය මෙතෙක්‌ තක්‌සේරු කර නොමැති බවද සඳහන් කළේය. මූලික රෝහලේ ශල්‍යාගාරයේ ඇති කාමරයක්‌ තුළ ඇතිවූ ගින්න පොලිසිය සහ රෝහල් කාර්ය මණ්‌ඩලය විසින් පැය දෙකක කාලයක්‌ ගත කරමින් නිවා දැමූ අතර එසේ නොවුණා නම් මූලික රෝහලේ ප්‍රධානතම දෙමහල් ගොඩනැඟිල්ල විනාශවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබුණු බව රෝහල් සේවකයෙක්‌ ඊයේ (16 දා) පැවසීය.

මෙම ගින්නෙන් ශල්‍යකර්ම සිදුකරන අවස්‌ථාවේ භාවිතයට ගන්නා නිල ඇඳුම් සහ එම අවස්‌ථාවට උපයෝගි කරගන්නා අමුද්‍රව්‍ය, ඖෂධවර්ග කිහිපයක්‌ පිළිස්‌සී ගොස්‌ ඇති නමුත් ශල්‍යාගාරයට කිසිම හානියක්‌ සිදුවී නොමැති බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.