අක්‍ෂිදාන දිනය අද
කෙනෙකු මියගියොත් පළමුවෙන්ම කරන්නේ
මල් ශාලාව වෙත යැමයි
ඇස්‌පටක දන් දුන්නොත් ඒ පින කියා නිමකරන්න බෑ

මහාචාර්ය චන්දන ජයරත්න

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන

ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය මගින් අද වනවිට දේශීය වශයෙන් කුණිත 41,000 ක්‌ ද, විදේශීය වශයෙන් කුණිත 60, 326 ක්‌ද, පරීක්‍ෂණ සඳහා කුණිත 33,000 ක්‌ද ලබාදී ඇස්‌ අන්ධ අයට මෙලොව එළිය දැකීමේ අවස්‌ථාව සලසා දී ඇතැයි එහි සභාපති විද්‍යාකීර්ති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

එමෙන්ම, 1996 දී ආරම්භ කළ පටක බැංකු මගින් ආබාධිත රෝගීන් 3763 දෙනකුට පටක ලබාදීම මගින් සුවපත්කර ඇතැයිද මහාචාර්යවරයා කියා සිටියේය.

මුළු ලොවටම ඇස්‌ දන්දෙන ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්‌තර හඩ්සන් සිල්වා මහතාගේ ජන්ම දිනය සිහිකර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්‌ඩල අනුමැතියෙන් රජය විසින් ප්‍රකාශයට පත්කළ දෙසැම්බර් 18 වැනිදාට යෙදී ඇති අක්‌ෂිදාන දිනය සිව්වැනි සමරු උළෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මහාචාර්යවරයා එසේ කියා සිටියේය.

එහිදී තවදුටත් කතා කළ මහාචාර්යවරයා මෙසේ ද කියා සිටියේය.

අක්‌ෂිදාන සංගමය නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1961 ජුනි මස 11 වැනිදා. මෙහි නිර්මාතෘවරයා දොස්‌තර හඩ්සන් සිල්වා මහතා. මේ රටේ කොහේ හෝ රෝහලකදී කෙනෙකු මියගියහොත් පැය 4 ක්‌ යැමට මත්තෙන් අපිට දැනුම්දීමක්‌ කළොත් ඇස්‌. පටක තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමද සිදු කරනවා. අද හුඟක්‌ අය කෙනෙකු මැරුනු ගමන් මල් ශාලාවක්‌ වෙත ගෙනයැමයි සිදු කරන්නේ. නමුත් කෙනකු මියගිය හොත් අපේ අක්‌ෂිදාන සංගමයට ඒ මියගිය අයගේ ඇස්‌, පටක පරිත්‍යාග කරනවානම් ඒ තුළින් ඇස්‌ අන්ධ අයකු පෙනීම ලබාවී. ඇවිදින්නට බැරි අයකු ඇවිදගෙන යාවි. මේ ඇස්‌ පටක දන්දීම තුළින් මියගිය අයට මෙන්ම ඔහුගේ ඥතීන්ට ලැබෙන පින කියා නිමකරන්න බැහැ."

දැන් මේ රටේ අයට අප සංගමය තවත් අයකුගෙන් ලබාගන්නා ඇස්‌ පටක පරිත්‍යාග කරනවා වගේම ලෝකයේ රටවල් 57 කට මේ ලබාගන්නා ඇස්‌, පටක පරිත්‍යාග කරනවා."

අක්‌ෂිදාන සංගමයේ ඇති ඇස්‌ බැංකුව දැන් ලෝකයේ ඇති ඇස්‌ බැංකු පහෙන් එකක්‌ කිව්වොත් නිවැරදියි. ඇමෙරිකාවේ තමයි ලෝකයේ ලොකුම ඇස්‌ බැංකුව පිහිටා තිබෙන්නේ."

මේ අක්‌ෂිදාන සංගම් මූලස්‌ථානයේ ඇති ඇස්‌ බැංකුවට අමතරව පටක බැංකුවත්, දොස්‌තර හඩ්සන් සිල්වා ඇස්‌ රෝහලක්‌ද තිබෙනවා."

"හුඟක්‌ අය මේ අක්‌ෂිදාන සංගමය මගින් රටට සිදු කරන මෙහෙය ගැන දන්නේ නැහ. අපි මේ හැමදෙයක්‌ම කරන්නේ මුදල් පරමාර්ථයෙන් නොවෙයි. අපි මේ හැම දෙයක්‌ම කරන්නේ පුණ්‍ය කටයුත්තක්‌ ලෙස සලකලයි. ඉතිං මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් 0112-698040, 0112692051, 0112696109 යන අංකයන්ට කතා කරලා දැනගන්න පුළුවන්.

දෙසැම්බර් 18 වැනිදාට යෙදෙන ජාතික අක්‌ෂිදාන දිනයේ සිව්වැනි සමරු උළෙල එදින උදේ 9.30 ට කොළඹ 05 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ වගේම එදිනට 1961 වසරේ සිට 2012 වසර වනවිට ඇස්‌ හා සිරුර දන්දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කිරීම දසලක්‍ෂය ඉක්‌මවීම සැමරීම, අන්ධ විද්‍යාල සඳහා උපකරණ සහ මූල්‍යමය පරිත්‍යාග සිදුකිරීම හා දෘෂ්‍යාබාධිත දරු දැරියන්ගේ විවිධ ප්‍රසංගයක්‌ පැවැත්වෙනවා.

දෙසැම්බර් 16 වැනිදා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටා තිබෙන මේ අක්‌ෂිදාන සංගම් මූලස්‌ථානයේදී ලේ දන්දීමේ පුණ්‍යකර්මයක්‌, ඇස්‌. සහ පටක දන්දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කිරීම සිදු කෙරෙනවා. එමෙන්ම, මෙදින ඇස්‌ පරීක්‍ෂාකර නොමිලයේ ඇස්‌ කණ්‌ණාඩි ලබාදීමක්‌ද සිදු කෙරෙනවා. මාධ්‍යවේදීන්ටත් මේ ඇස්‌ පරීක්‍ෂා කරගන්න පුළුවන්."

මෙම අවස්‌ථාවට වෛද්‍ය අධ්‍යක්‍ෂ එම්. එච්. එස්‌. කසීම්, ප්‍රධාන ලේකම් කල්‍යාණවතී වික්‍රමසිංහ, භාණ්‌ඩාගාරික, ඩී. සී. ක්‍රිෂාන්, මහජන සම්බන්ධතා නිලධාරී ඩී. සී. රණසිංහ, ඇස්‌ බැංකු කළමනාකාර ජගත් සමගි මාතරආරච්චි, පටක බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාර හේමකද මැල්, රෝහල කළමනාකාර රුවන් ආසිරි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.