වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවියගේ වන්දි නඩුව
පැමිණිලිකාරියගේ අධ්‍යාපන සහතික
අනවශ්‍ය බවට වගඋත්තර පාර්ශ්වයේ එකඟතාව


පියදාස රණසිංහ

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රදර්ශන කුටියක යකඩ බටයක්‌ කඩාවැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව සිටින වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය විසින් එම සම්මන්ත්‍රණශාලා පාලනාධිකාරියෙන් රුපියල් කෝටි පනහක වන්දියක්‌ ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉකුත් 13 දා විභාගයට ගත් අවස්‌ථාවේ පැමිණිලිකාරිය ලබා ඇති අධ්‍යාපන සහතික සම්බන්ධව සාක්‍ෂිදීමට බලාපොරොත්තුව ඇය අධ්‍යාපනය ලැබූ මකුළුදූව කනිෂ්ට විදුහලේ විදුහල්පතිවරයා හා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අධිකරණය හමුමේ පෙනී සිටි නමුත් එම සහතික පත්‍ර ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥ එන්. ආර්. සුවෙන්ද්‍රන් මහතා එකඟත්වය පළ කරන ලදී.

කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා හමුවේ මෙම වන්දි නඩුව විභාගයට ගන්නා ලද අතර එම ඉල්ලීමට විනිසුරුවරයා අවසර දුන්නේය.

පිළියන්දල - මකුළුදූව කනිටු විදුහල්පති සරත් පෙරේරා මහතා හා කොළඹ ගෝතමී බාලිකා නියෝජ්‍ය විදුහල්පතිනි ආර්. එන්. ජයසිංහ මහත්මිය සාක්‍ෂි දීම සඳහා මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති "මෙඩෙක්‌ස්‌ 2008" වෛද්‍ය ප්‍රදර්ශනය සංවිධානය කරන අවස්‌ථාවේ ඊට පෙර පැවති "දැයට කිරුළ" ප්‍රදර්ශනය සඳහා ඉදිකර තිබූ ප්‍රදර්ශන කුටියක යකඩ බටයක්‌ සමිතා මෙනෙවියගේ සිරුර මත කඩා වැටී ඇයගේ කොඳු ඇට පෙළ ආහ්‍රsත සුසුම්නාවට බරපතල හානි සිදුව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බවට ඊට වගකිව යුතු සම්මන්ත්‍රණශාලා පාලනාධිකාරියෙන් රුපියල් කෝටි 50 ක්‌ ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

එවකට වෛද්‍ය ශිෂ්‍යාවක්‌ම සිටි සමිතා අනතුරට ලක්‌වී ශ්‍රී ලංකාවේ සිදු කළ මූලික ප්‍රතිකාරවලින් පසුව චීනයේ හා සිංගප්පූරුවේ රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇති අතර දැනට ඇය කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්‌ ලෙසට සේවය කරයි.

ඉකුත් මැයි 03 සිට නඩු වාර පහක්‌ තුළදී පැමිණිලිකාරියගෙන් අධිකරණය සාක්‍ෂි සටහන් කර ගන්නා ද අතර ඇයගේ සාක්‍ෂි ලබාදීම මෙදින (13 දා) අවසන් විය. වැඩිදුර විභාගය ලබන 2013 වසරේ පෙබරවාරි මස 07 දින දක්‌වා කල් තැබීමට දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා තීරණය කළේය.

පැමිණිලිකාරිය වෙනුවෙන් ජී. ජී. අරුල් ප්‍රකාශම් මහතාගේ උපදෙස්‌ ඇතිව ජනාධිපති නීතිඥ විඡේදාස රාජපක්‍ෂ හා නීතිඥ නිලන්න කුමාරගේ යන මහත්වරු හා වගඋත්තරකාර සම්මන්ත්‍රණශාලා පාලනාධිකාරිය වෙනුවෙන් මුරුගේසු සහ නීලකන්දන් නීතිඥ සමාගමේ උපදෙස්‌ මත නීතිඥ එන්. ආර්. සුමේන්ද්‍රන් මහතා ද පෙනී සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.