දැන් මරණ 17 යි

තුෂාරී කළුබෝවිල, ලසිත දුමින්ද, නමුණුකුල - යූ. බී. පල්ලේගෙදර, පොළොන්නරුව - කරුණාරත්න ගමගේ, මාතලේ - නිමල් ගුණතිලක, සීගිරිය - සරත් එරමිණිගම්මන සහ සමන් මල්ලවාරච්චි

පොළොන්නරුවේ කුඹුරු අක්‌කර 70000 ක්‌ ජලයෙන් යටවෙයි

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇතිවූ නායයැම්, ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ඊයේ (18 දා) සවස වනවිට පුද්ගලයන් 17දෙනකු මියගොස්‌ 25දෙනකුට ආසන්න පිරිසක්‌ තුවාල ලබා ඇති අතර තවත් 13දෙනකු අතුරුදන්ව තිබේ.

පවුල් පන්දහස්‌ දෙසිය දෙකකට අයත් පුද්ගලයන් විසිඑක්‌ දහස්‌ එකසිය විසි දෙනකු විපතට පත්ව ඇති අතර හයදහස්‌ තුන්සිය දොළොස්‌ දෙනෙක්‌ අවතැන් කඳවුරු 29ක රැඳී සිටිති.

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදාවලින් දුම්රිය ගමනාගමනය ඇතුළු ප්‍රවාහන සේවයට ද ජනතාවගේ දෛනික වැඩකටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබිණ.

මේ නිසා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට පෙරේදා (17 දා) හා ඊයේ (18 දා) දිනවල දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවූ අතර ඇතැම් සිසු සිසුවියන්ට ඒ සඳහා පෙනී සිටීමටද නොහැකි විය.

පෙරේදා (17 දා) වාර්තාවූ මරණ පුද්ගල 9 කට අමතරව ඊයේ (18 දා) තවත් බිලිඳු මරණයක්‌ වාර්තා වූයේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ තෙල්දෙණිය ප්‍රදේශයෙනි.

නිවසේ බිත්තියක්‌ කඩා වැටීමෙන් එයට යටවූ බිලිඳියක්‌ මරණයට පත්වූ අතර ඊට යටවූ සිව් හැවිරිදි දැරියක්‌ සහ නව හැවිරිදි දරුවෙක්‌ ඊයේ (18 දා) රෝහල්ගත කරනු ලැබූහ.

පොළොන්නරුව ගම්මඩුව මාර්ගයේ ධාවනය කරමින් තිබූ වෑන් රථයක්‌ මතට රත්තොට සියඹලාගොල්ල රාජාංගණ වංගුවේදී ගසක්‌ කඩා වැටීමෙන් තිදෙනකු මියගොස්‌ හත් දෙනකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඊයේ (18 දා) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයටද ජල ගැල්මෙන් හානි සිදුවී තිබිණි. රිදීගම, මාවතගම, ඉබ්බාගමුව, විල්ගොඩ වැල්ලව යන ප්‍රදේශවල පවුල් එක්‌දහස්‌ පන්සියයකට අයත් පුද්ගලයන් හයදහසක්‌ පමණ දෙනා විපතට පත්ව තිබේ.

දැදුරුඔය පිටාර ගැලීමෙන් කුරුණෑගල අනුරාධපුර මාර්ගය යටවී තිබේ. දැදුරුඔය, මහබුත්ගමුඔය හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඩා වැව් සියල්ලම පිටාර ගලමින් තිබිණි. මේ නිසා නිවස, මහාමාර්ග අතුරු මාර්ග හා පහත් බිම් ජලයෙන් යටවී ඇත. කුරුණෑගල රෝහල අවට ප්‍රදේශය ජලයෙන් යටවී ඇතැම් මාර්ගවල ගමනාගමන කටයුතු අඩාලවී ඇත.

වස්‌ගමුව හා නකල්ස්‌ රක්‍ෂිත නැරඹීමට ගිය පුද්ගලයන් 77 ක්‌ එම රක්‍ෂිතවල කොටුවී ඇති අතර නාවික හමුදාව ඔවුන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මහියංගණය

මහියංගණය දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රධාන මාර්ගයේ උල්හිටිය යකඩ පාලම ගංවතුරට කැඩීයැමෙන් පවුල් 150 ක්‌ අවතැන්ව සිටිති. දැදුරුඔය රිදීබැඳිඇල්ල පිටාර ගැලීමෙන් එහි තැනින් තැන බැම්මෙන් ජල කාන්දුවීම නිසා නිවාස 200 ක්‌ පමණ යටවී තිබේ.

අලව්ව

කුඩාඔය පිටාර ගැලීමෙන් අලව්ව ප්‍රදේශයේ මාර්ග ගණනාවක්‌ ජලයෙන් යටවී යැමෙන් (18 දා) රථ වාහන ගමනාගමනය අඩාලවී ඇත වගා බිම් කීපයක්‌ ද ජලයෙන් යටවී විනාශවී තිබේ.

අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන මහරච්චිමුල්ල, මැටියගනේ, පැලවත්ත, අලව්ව, නාරම්මල මාර්ගයෙහි දම්පැලැස්‌ස සහ පහළගම ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. කුඹුරු හා ගොඩ ගොවිතැන් සම්පූර්ණයෙන් විනාශවී ගොස්‌ ඇත.

රත්නපුර

රත්නපුර දිස්‌ත්‍රික්‌කයට දින දෙකක්‌ තිස්‌සේ ඇදහැලෙන අධික වර්ෂාව නිසා මැණික්‌ පතල් කර්මාන්තය තාවකාලිකව අත්හිටුවීමට මැණික්‌ පතල්කරුවන් තීරණය කර ඇත.

ඊයේ (18 දා) වනවිට කිරිඳිගඟ සහ දෙනවක ගඟේ ජල මට්‌ටම ඉහළයැම නිසා තවදුරටත් අධික වර්ෂාව පැවතුණහොත් ගංවතුර තත්ත්වයක්‌ ඇති විය හැකි බවද පැල්මඩුල්ල පතල්කරුවෝ පවසති.

මඩකලපුව

දැඩි සුළඟ සමග ඇතිවූ අධික වර්ෂාවත් සමග කාත්තන්කුඩිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක වහළවල් සුළඟට ගසා ගොස්‌ තිබිණි.

කල්මුණේ

කල්මුණේ අම්පාර, කල්මුණේ, මන්ඩුර්, අම්පාර, මහඔය, සමන්තුරය, සොරිකල්මුණේ යන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ වෙරළබඩ ප්‍රදේශවල පහත්බිම් රැසක්‌ද ජලයෙන් යටවී ඇත.

තිස්‌සමහාරාම

තිස්‌සමහාරාම ප්‍රදේශයේ ප්‍රධාන වැව් 4 ක්‌ පිටාර ගැලීම නිසා ප්‍රධාන මාර්ග රැසක්‌ ඊයේ (18 දා) ජලයෙන් යටවී තිබිණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින් ඇතුළු ජනතාවගේ ජන ජීවිත අඩාල වී තිබෙන අතර වාහන ගමනාගමනයට බලපෑම් එල්ලවී ඇත.

අනුරාධපුරය

අනුරාධපුරය - කුරුණෑගල (ඇල්ල පාර) ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනය මුළුමණින්ම නතර වී තිබේ.

දැදුරුඔය පිටාර ගැලීම නිසා එම අවට මාර්ග අඩි 8 ක්‌ පමණ ජලයෙන් යටවී තිබිණි. වෙළෙඳසල්, නිවාස ඇතුළු ගොඩනැඟිලි

රැසක්‌ද ජලයෙන් යටවී ඇත.

හිඟුරක්‌ගොඩ

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 400 ක්‌ පමණ ජල ගැලීම් නිසා අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා පැවසීය.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ - මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 30 ක්‌ පමණ අවතැන්ව සිටිති.

වලපනේ

වලපනේ ප්‍රදේශය නායයැමේ අවදානම් කලාපයක්‌ ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ. වලපනේ ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ගවලට පස්‌ කඳු කඩාවැටීම නිසා ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.

මාතලේ

අධික වර්ෂාව නිසා රත්තොට, නාඋල, ලග්ගල ප්‍රදේශවල නිවාස 350 ක්‌ පමණ හානියට පත්ව ඇත. මහවැලි ගඟ හා අඹන් ගඟ පිටාර ගැලීමෙන් අවට නිවාස හා මාර්ග රැසක්‌ ජලයෙන් යටවී තිබිණි.

රත්තොට

රත්තොට ප්‍රදේශයට අයත් නිකලොය වත්තේ ඉහළ කොටසේ පස්‌ කඳු කඩාවැටීම නිසා පවුල් 200 ක්‌ පමණ කොටුවී සිටින අතර ඔවුන් බේරා ගැනීමට යුද හමුදාව හා පොලිසිය එක්‌ව පියවර ගනිමින් සිටිති.

මාස්‌පොත

කොළමුණඔය පිටාර ගැලීමෙන් තදාසන්න ගම්මාන රැසක ජන ජීවිතය අඩාල වී ඇත. විපතට පත් පවුල් හඳුනාගෙන සහනාධාර ලබාදීමට කටයුතු කරමින් පවතී.

තෙල්දෙණිය

මධ්‍යම කඳුකරයේ නකල්ස්‌ කඳුවැටියේ පවතින අධික වර්ෂාව නිසා නායයැම්, ඉඩම් දේපළ හා නිවෙස්‌වලට හානි සිදුව ඇත. සියලුම ඇළ දොළවල් ඉතිහාසයේ නොවූ විරූ අයුරින් උතුරා යමින් තිබේ.

පොළොන්නරුව

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 07 ක පදිංචි පවුල් එක්‌දහස්‌ පන්සියයකට අයත් පුද්ගලයන් පන්දහස්‌ පන්සිය හතළිස්‌හතරක්‌ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය කියයි.

දිඹුලාගල, ඇලහැර, හිඟුරක්‌ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලින් නිවාස හානි 43 ක්‌ වාර්තා වී තිබේ.

අවතැන්වූ පිරිස්‌ මේ වන විට කඳවුරු ගතකොට අවශ්‍ය සුබසාධක කටයුතු සලසා ඇතැයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා ප්‍රකාශ කළේය.

ඇලහැර, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල මේ වන විට අවතැන්වූ පිරිස්‌ සඳහා කඳවුරු 17 ක්‌ පිහිටුවා ඇති බවත්, එහි පවුල් 1372 කට අයත් පුද්ගලයන් 5122 ක්‌ නවාතැන්ගෙන සිටින බවත් ඒ මහතා පැවසීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මහ වැව් සියල්ලකම ජල මට්‌ටම් ශීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවතින අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වන විට වාන් දමමින් පවතී.

එහි ජල මට්‌ටම අක්‌කර අඩි 1,10,000 ක්‌ ඉක්‌ම යැමෙන් පසුව වාන් දොරටු 10 න් 06 ක්‌ අඩි 01 බැගින් විවෘත කොට අතිරික්‌ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත් බව පරාක්‍රම සමුද්‍රය වාරි ඉංජිනේරු එච්. එම්. යූ. බී. හේරත් මහතා "දිවයින" ට පැවසීය.

මේ අතර මහවැලි බී. කලාපයේ පිඹුරත්තෑව ජලාශය, එන්.ඩී.කේ. ජලාශය, ඇල්ලේ වැව ආදී වැව් මේ වන විට පිටාර ගලමින් තිබේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වගා කරන ලද කුඹුරු අක්‌කර හැත්තෑදහසකට අධික ප්‍රමාණයක්‌ මේ වන විට ජලයෙන් යටවී ඇත.

මහවැලි ගඟ, අඹන් ගඟ, කුඹුක්‌කන් ආරුව, තලපත් ආරුව ආදිය පිටාර ගැලීම හේතුවෙන් විශාල කුඹුරු ප්‍රමාණයක්‌ ගංවතුරට හසුවී තිබේ.

පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යටවී ඇති අතර එහි ජල මට්‌ටම අඩි 09 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

කොළඹ -

මඩකලපුව දුම්රිය මාර්ගයේද මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර එහි ජල මට්‌ටම අඩි 03 ක්‌ දක්‌වා ඉහළගොස්‌ ඇත.

එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද ඊයේ (18 දා) අලුයම සිට අත්හිටුවා තිබේ.

මේ හේතුවෙන් පොළොන්නරුව, කදුරුවෙල නගරයේ සිට මනම්පිටිය දෙසට සියලුම ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.



සියඹලාණ්‌ඩුව

සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය මහ ලේකම් කොට්‌ඨාසයට අයත් විලඔය බෙහෙත්ගහආර සහ කුඩාඔය පිටාරගලා කළුඔබ්බ හරහා සියඹලාණ්‌ඩුව මාර්ගය සහ ඇතිමලේ - කොඩයාන මාර්ගය ජලයෙන් යටවීම නිසා විලඔය හා ඇතිමලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන දෙකෙහි විභාග කටයුතු ඊයේ (18 දා) පැය දෙකහමාරක්‌ පමණ ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදුවූ බව දෙමාපියෝ පැවසූහ.

මේ අතර කොටියාගල ප්‍රදේශයේ සිසුන් අට දෙනකු සඳහා කොටියාගල විදුහලේ තාවකාලික විභාග මධ්‍යස්‌ථානයක්‌ ආරම්භකර තිබේ. එම සිසුන්ට අදාළ ප්‍රශ්න පත්‍ර හා විභාග කාර්ය මණ්‌ඩලය යෑවීමට මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය සහ ආරක්‍ෂක අංශ පියවර ගත්හ.

විලඔය ශ්‍රීපාලි මහ විදුහලේ විභාග මධ්‍යස්‌ථානයේ කටයුතු පෙරවරු 11.00 ට සහ අතිමලේ මහ විදුහලේ විභාගය පෙරවරු 11.30 ට ආරම්භ කිරීමට හැකි විය.

ඊයේ දිනයේ මෙම විභාග මධ්‍යස්‌ථාන දෙකේ සිසු සිසුවියෝ 250 ක්‌ පමණ සෞන්දර්යය විෂයන් සඳහා විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියහ.

වැලිකන්ද

වැලිකන්ද බෝවත්ත ගම්මානයේ ගවයින් බැලීමට ගිය 8 දෙනකු මාදුරුඔය ජලාශයේ ජල මට්‌ටම ඉහළයැම නිසා අතරමංවී ඇත. වැලිකන්ද පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්‌ව නාවික හමුදාවේ බෝට්‌ටු යොදාගනිමින් ඔවුන් බේරාගැනීමට කටයුතු සිදු කරමින් තිබිණි. මෙම අතරමංවූ පිරිස අතර පිරිමි 5 දෙනෙකු ගැබිණි මාතාවක්‌ සහ කුඩා ළමුන් දෙදෙනකු සිටින බව වාර්තා වෙයි.

අම්පාර

අම්පාර ප්‍රදේශයට 16 වැනිදා සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර - මහියංගනය හරහා නුවර මාර්ගය ගමනාගමනය ඇනහිට ඇත. ලාහුගල කිරිවෙහෙර විහාරස්‌ථානයේ පිහිටා ඇති බෝරුක කැඩී චෛත්‍යයට සුළු අලාභහානි සිදුවී ඇති අතර උහන කොට්‌ඨාසයට අයත් ආදැල්ඔය වැව පිට ගැලීමට ලක්‌වීමෙන් මෙම මාර්ගවල ගමනා ගමනය අඩාල වී ඇත.

මොනරාගල කොටියාගල කොඩයාන මාර්ගය 10 කණුව වට්‌ටාරන් හන්දිය ඌන ඇළ උතුරායැමෙන් පෙරේදා සිටම මෙම මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් කොටියාගල ප්‍රදේශයේ පදිංචි පවුල් 500 කට ආසන්න පිරිසක්‌ දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

කොඩයාන - ඇතිමලේ මාර්ගයේ 3 කණුව බෝක්‌කුව උතුරායැමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය ඇනහිට තිබේ.

මාතලේ

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ඊයේ (18 වැනිදා) වන විට පුද්ගල මරණ 8 ක්‌ සහ අතුරුදන්වීම් 13 ක්‌ වාර්තා වූ බව මාතලේ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.

ඊයේ (18 වැනිදා) උදැසන රත්තොට නිකලොස්‌ ගම්මානයට ඉහළ කන්ද නායයැමෙන් පුද්ගලයින් 6 දෙනකු අතුරුදන්ව තිබිණි. ප්‍රදේශය ගංවතුරට යටවී තිබිණි. සෙසු අතුරුදන්වූවන් දිස්‌ත්‍රික්‌කයේ තවත් ප්‍රදේශ කීපයකින් වාර්තා විණි.

කොටු වූ පවුල් බේරා ගැනීම සඳහා යුද හමුදාවේ 60 දෙනෙකුගෙන් යුත් භට කණ්‌ඩායමක්‌ සහ පොලිසිය හා ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක්‌ දරමින් සිටියහ.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ඊයේ (18 වැනිදා) වන විට පවුල් 375 ක 1528 ක්‌ අවතැන්ව සිටි බවත් කඳවුරු 8 ක පවුල් 161 ක 742 ක්‌ රඳවා සිටින බවද ඔහු පැවසීය.

පස්‌සර

පස්‌සර පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කිරිමණ්‌ඩලය අසල පිහිටි නිවසක්‌ මතට පස්‌කන්දක්‌ කඩා වැටීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මියගොස්‌ ඇත. සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ 11 කණුව ජයන්තිපුර කෝන්ගහකැලේ පදිංචි කනක සුන්දරම් නමැති (40) පියාත්, ඔහුගේ පුතුන්දෙදෙනා වන කනකසුන්දරම් දිල්ශාන් (14), කනක සුන්දරම් ක්‍රිශාන් (10) යන දෙදෙනාය.

පසුබිම් වාර්තා

ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි, පැල්මඩුල්ල - තුසිත් සාගර, මඩකලපුව - ජවුµර් ඛාන්, කල්මුණේ ශ්‍රීවේල් රාජා, දෙබරවැව - ඒ. ඒ. ප්‍රේමසිරි, වීරවිල - කුසුම් ප්‍රියන්ත, මහගල්කඩවල - සේනක ඉලංගකෝන්, හිඟුරක්‌ගොඩ - අතුල සූරිය බණ්‌ඩාර, වලපනේ - අරුණ ඩයස්‌, මාතලේ වාර්තාකරුවන්, රත්තොට - රිචඩ් ද සිල්වා, මාස්‌පොත - සෙනරත් පොන්නම්පෙරුම, තෙල්දෙණිය - ගාමිණී පුටුහපුව, මහරච්චිමුල්ල, සිසිර සරත් අබේකෝන්, අරලගංවිල - රොෂාන් තුෂාර, මඩුල්ල - කේ. එම්. ජී. බණ්‌ඩාර, වැලිකන්ද බන්දු රත්හාමි, මොණරාගල - නයන ඉහළගෙදර, ලුණුගල - සිරිල් ජයසිංහ, හාලිඇල ජයසේකර වීරසිංහ, උඩුදුම්බර - අබ්දුල් අසීස්‌.

 

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.