කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනයේ
සැකකරුවෝ යළි රිමාන්ඩ්


අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ

කරන්දෙණියේ හිතහොඳ දොස්‌තර ලෙස ප්‍රකට ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධව නඩු විභාගය පෙරේදා (17 දා) යළි විභාගයට ගත් අවස්‌ථාවේදී මේ මස 28 දා දක්‌වා නඩුව කල්තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් අසංග ශ්‍යාම්ලාල් බෝදරගම මහතා නියෝග කළේය.

මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ තොරතුරු සහිත ලිපිගොනු බළපිටිය අධිකරණය මගින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත.

පෙරේදා (17 දා) දින වන විටද නීතිපති උපදෙස්‌ ලැබී නැති බව වාර්තාවීමෙන් සැකකරුවෝ 5 දෙනා දෙසැම්බර් 28 වැනිදා දක්‌වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

කරන්දෙණියේ බොරකන්දේ රසායනාගාර පරීක්‍ෂක චින්තක රුවන් ජයසේන, යුද හමුදාවේ කපිතාන්වරයකු වන ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම බටපොල පාරේ චන්දන වික්‍රමසිංහ, යුද හමුදාවේ සෙබළ අයිය මලෝ වන එස්‌. එච්. ශාන්ත ද සිල්වා, එස්‌. එච්. ජයලත් ද සිල්වා, මීටියාගොඩ මහවෙල විජිත් ආනන්ද ද සිල්වා යන සැකකරුවෝ මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ඝාතනයට ලක්‌වූ වෛද්‍යවරයාගේ ඥතීන්ට බලපෑම් කළ බව කියන සැකකරුවකුගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ්න කොට ඇති අතර දැනට ගාල්ල බන්ධනාගාරගතව සිටින සැකකරු පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක්‌ ඉදිරියේදී මහෙස්‌ත්‍රාත් අධිකරණයටත් මහාධිකරණයටත් ඉදිරිපත් කරන බව පෙරේදා (17 දා) රහස්‌ පොලිසියේ නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළහ.

මෙම නඩුව පෙරේදා (17 දා) යළි කැඳවූ අවස්‌ථාවේදී රහස්‌ පොලිසියේ සැරයන් අනුර රත්නප්‍රිය මහතා වැඩිදුර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහේන්ද්‍ර ජිනප්‍රිය මහතා පෙනී සිටියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.