රජයේ රෝහල්වල කුස්‌සිය අන්ත දූෂිතයි
රෝගීන්ට දෙන මස්‌ මාළු කෑල්ලත් හොරකම් කරනවා
- ඇමැති මෛත්‍රීපාල සිරිසේන

රෝහල්වල කුස්‌සිය කියලා කියන්නේ අන්ත දූෂිත තැනකට. ඒක තමයි ඇත්ත තත්ත්වය. රෝගියාට හම්බවෙන මාළු කෑල්ලත්, මස්‌ කෑල්ලත් හොරකම් කරනවා. එක්‌කෝ අඩුවෙන් කපනවා. එහෙම නැත්නම් පිටිපස්‌සෙන් යවනවා. මස්‌ මාළු ආපුවාම ලෑල්ලේ තියලා කපලා ඒවා බේසමකට අයින් කරනවා. ඒ වෙලාවෙම හොඳ මාළු කෑලි ටික පහල තියෙන භාජනයකට වැටෙන්න සළස්‌වනවා. ඒක ඩස්‌ට්‌බින් එකක්‌ වගේ වුණාට එහෙම එකක්‌ නොවෙයි. ඒවා කෙළින්ම යන්නේ ගෙදරට යෑයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඉකුත් 19 වැනිදා පස්‌වරුවේ රෝහල් අරක්‌කැමි තනතුරු 44 ක්‌ ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සඳහා 138 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයකදීය. මෙම උත්සවය නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්‌ථානයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා - තනතුරු ලබන අය කුමන ආකාරයේ තනතුරක්‌ ලැබුවත් ඒ තනතුර හැබෑ මහජන හිතකාමී නැත්නම් ඒ තනතුරෙන් ප්‍රතිඵලයක්‌ නැහැ. අපි කුමන තනතුරක්‌ දැරුවත්, කනිෂ්ඨ සේවකයෙක්‌, හෙද හෙදියක්‌, වෛද්‍යවරයෙක්‌, දේශපාලනඥයෙක්‌, රාජ්‍ය සේවකයෙක්‌ වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනාගේ වගකීම තමයි මහජන සේවය සැළසීම. අපි හැම දෙනෙක්‌ම ජීවත් වෙන්නේ යෑපෙන්නේ රටේ මහජනතාවගේ ආදායමෙන්. රාජ්‍ය සේවකයෝ. නිලධාරීන්, දේශපාලකයෝ කියලා කියන්නේ නිෂ්පාදන කාර්යාවලියේ ඉන්න අය නොවෙයි. රටේ නිෂ්පාදන කාර්යාවලියේ ඉන්නේ ගොවියෝ, කම්කරුවෝ, වැනි අහිංසක මිනිස්‌සු. ඒ මිනිස්‌සු උපයන දෙයින් තමයි අනෙක්‌ අය ජීවත් වෙන්නේ. දේශපාලනඥයාට, රජයේ නිලධාරියාට ඔහු යන වාහනයට ඉන්ධන ටික ගහලා දෙන්නේ රටේ අහිංසක මිනිස්‌සු.

ඒ මිනිස්‌සු තමන්ගේ දහඩිය , කඳුළු වැය කරලා, වගුරලා ජීවිත පරිත්‍යාග කරලා විවිධ දැ නිෂ්පාදනය කරනවා. මේ රටේ ලක්‍ෂ 40 කට වැඩි පාසල් දරුවෝ පිරිසකට නිදහස්‌ අධ්‍යාපන ලබාදීමටත් රෝහල්වල වාර්ෂිකව මිලියන 50 කට පමණ නොමිලේ බෙහෙත් හේත් ලබාදෙන්නටත්, මහන්සිවෙන්නේ රටේ අහිංසක මිනිස්‌සු. ඒ මිනිස්‌සු උපයන සල්ලි වියදම් කරලා තමයි උපාධිධරයෝ වෛද්‍යවරු හෙද හෙදියෝ ඉංජිනේරුවරු බිහිවෙන්නේ. ඒක අමතක කරන්න එපා.

එහෙම කල්පනා කරනකොට දේශපාලනඥයෝ, රජයේ නිලධාරීන්, ඇතුළු හැමකෙනෙක්‌ම හරියට පරපුටුවෝ නැත්නම් අනුන්ගෙන් යෑපෙන පිරිසක්‌ යෑයි කීම නිවැරදියි. රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගන්න එන රෝගීන්ගෙන් සියයට 90 ක්‌ම ප්‍රධාන වශයෙන් අඩුආදායම්ලාභීන්. ඒ එන අයට සේවය ලබාදීමේදී ආදරය, සෙනෙහස, දයාව, කරුණාව, දැක්‌විය යුතුයි. ඒ මිනිස්‌සුන්ට මහ ලොකුවට කෑගැහුවට, බැන්නට, සැරවුනාට, ඒ මිනිස්‌සු හොයන ආදායමෙන් තමයි රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. රජයේ රෝහලකට ප්‍රතිකාර ගන්න එන ගොවියාට ඒ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අපි හැමෝටම වැඩිය අයිතියක්‌ තියෙනවා. මොකද ඒ ගොවියා තමන්ගේ දහඩිය, කඳුළු හෙළලා රටට හම්බකරලා දීලා තියෙනවා. නමුත් බොහෝ තනතුරු දරන අය හිතනවා මහ ලොකුවට අපේ ලොකුකමට අපි තමයි මේ හම්බකරලා දෙන්නේ කියලා. රටේ ලොකු මිනිස්‌සු රටට හම්බ කරන අය නොවෙයි. රටේ ලොකු තනතුරු දරන ඔක්‌කොම කරන්නේ පුංචි මිනිස්‌සු හොයලා දෙන සල්ලි වැය කරන එකයි. අපි ඔක්‌කොම ඒ පුංචි මිනිස්‌සු හොයලා දෙන, දුප්පත් මිනිස්‌සු හෙයාලා දෙන සල්ලිවලින් ජීවත්වන අය. රජයේ නිලධාරීන් යන වාහනය දේශපාලනඥයා, රජයේ නිලධාරියා ඒ හැමකෙනෙකුටම වාහනයට තෙල් ටික ගහලා දෙන්නේ. ඒ දුප්පත් මිනිස්‌සු බව ඒ ලොකු මිනිස්‌සු හිතන්නේ නැහැ.

රෝහල්වලට එන රෝගීන් නිසා තමයි රෝහල් කාර්ය මණ්‌ඩල ජීවත්වෙන්නේ. ඒක අංක එක. හැබැයි ඒක අමතක කරලා රෝගීන් ආපුවාම ඒ අයට සැර කරලා බැනලා නොසලකා හැරලා කටයුතු කරනවා. අපි අපේ සේවය නිහතමානීව අවංකව කරන්න ඕන.

අද මේ අරක්‌කැමි පත්වීම් ගත්ත අයට මූලික සුදුසුකම වුණේ අධ්‍යාපන සුදුසුකම් නොවෙයි. මුළුතැන්ගෙවල්වල වැඩකරපු පළපුරුද්ද. ඒ නිසා ඒ අය මට වැඩිය හොඳට දන්නවා රෝහල්වල මුළුතැන් ගෙවල්වල වෙන්නේ මොනවද කියලා. වටිනා තුනපහ වලට වෙන්නේ මොනාද කියලා. සුදු ළුEණු, බී ළුEනු, කුකුල්මස්‌ කෑල්ලට මොකද වෙන්නේ කියලා. මම මේවා පිටිපස්‌සේ එළවන්නේ නැත්තේ එතකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ. තමන් හොඳට කනවා වාගේම රෝගියාට දෙන කෑම වේලත් හොඳට දෙන්න ඕන. හරියට දෙමාපියෝ දරුවන්ට කෑමවේලක්‌ දෙනවා වගේ. ඒ හින්දා රෝගීන්ට ලබාදෙන කෑමවේලෙහි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳව අපි ලබාදීලා තිබෙන නිර්දේශ හරියටම පිළිපදින්න ඕන. එහෙම නැතුව එළවළු ගේන මිනිහගෙන් ගානක්‌ ගහගන්නයි. මස්‌ ගේන මිනිහගෙන් ගාණක්‌ ගහගන්නයි ටෙන්ඩරය යන හැටි ඒවා ඒවා ගන්න හැටි, හැමදාම ඒවා කරන හැටි, ඔය ආයතනවල වැඩ කරන අය මට වැඩිය හොඳට දන්නවා.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ද සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.