සෞඛ්‍යයේ කතුන් තිදෙනකුට අතවර කිරීමේ
පරීක්‍ෂණ පොලිස්‌ කාන්තා කාර්යාංශයට


වෛද්‍ය සැපයීම් අංශයේ දී සහ ජාතික රෝහලේදී කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවල කාන්තාවන් තිදෙනකුට ලිංගික අතවර සිදු කිරීමේ පරීක්‍ෂණ පොලිස්‌ කාන්තා හා ළමා කාර්යාංශයට භාරදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කර තිබේ.

මීට සති දෙකකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී සහ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලට අයත් කතුන් තිදෙනකුට කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලම සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනකු විසින් අතවර සිදු කළේ යෑයි එම කතුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කර ඇත. අතවර පිළිබඳව ඔවුන් ඇමැතිවරයාට ලිතව පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙසත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට පැමිණිලි කරන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ විමර්ශන ඒකකයට උපදෙස්‌ දී තිබේ.

නමුත් මේ අදාළ සිද්ධීන් සම්බන්ධව මෙතෙක්‌ විධිමත් පරිදි සහ සෑහීමකට පත්විය හැකි පරිදි පරීක්‍ෂණ සිදුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙම සිද්ධීන් පිළිබඳව පෙරේදා (22 දා) පෙරවරුවේ ඇමැතිවරයා විමර්ශන අංශයෙන් කරුණු විමසීමේදී පරීක්‍ෂණ ආරම්භ කළත්, ප්‍රමාණවත් සාක්‍ෂි නැති බව දැනුම් දී තිබේ.

නමුත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය සිදු කරන පරීක්‍ෂණවලට අමතරව වැඩිදුර පරීක්‍ෂණ සඳහා එම පැමිණිලි පොලිස්‌, කාන්තා හා ළමා කාර්යාංශයට භාර දෙන බවයි. මෙම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් වෘත්තීය සමිති දෙකකට අයත් ක්‍රියාකාරීන් වන බවත් ඔවුන් සෙසු අයට ආදර්ශයක්‌ වන පරිදි කටයුතු කළ යුතුව තිබෙන නිසාත්, මෙම පරීක්‍ෂණ අඛණ්‌ඩව සිදු කරමින් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.