අපේ සෞඛ්‍ය සේවය ලෝකයේ ඉහළ මට්‌ටමක පත්වෙලා

ජනතාවගේ සෞඛ්‍ය නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමා
මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකසිය විසිපහක්‌ වෙන් කර තිබෙනවා

වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කෙතරම් අඩුපාඩු තිබුණත් වෛද්‍යවරු, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු සමස්‌ත කාර්ය මණ්‌ඩලය සිදුකරන විශිෂ්ට සේවය නිසා අපේ රටේ සෞඛ්‍ය සේවාව ලෝකයේ ඉතා ඉහළ මට්‌ටමක පවතින බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

බස්‌නාහිර පළාත් සභාව රුපියල් මිලියන 14 ක්‌ වැය කොට වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ ඉදිකළ දෙමහල් සායන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ජනතාවට වැළඳෙන බෝ නොවන රෝග මර්දනය කිරීම සඳහා සායන කටයුතු, ශාරීරික ව්‍යායාම පැවැත්වීම සඳහා සහ රුධිර පරීක්‍ෂණ ඇතුළුÊඅනිකුත් සෞඛ්‍ය පහසුකම් සඳහා මෙය ඉදිකර තිබේ.

තල්පිටිය දළ¹වත්ත විහාරස්‌ථානයේ විහාරාධිපති තල්පිටියේ චන්දරතන හිමියන්ගේ අනශාසකත්වයෙන් පැවැති උත්සව සභාව අමතා වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා - ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විසිහතක්‌ ජීවත් වන බස්‌නාහිර පළාතේ ඩෙංගු බරවා වැනි රෝග වැඩිදුර ව්‍යාප්තව තිබෙනවා. එසේ වන්නේ ඒ නාගරික පරිසරවල තිබෙන කැළිකසළ අපද්‍රව්‍ය එකතු වීමේ තත්ත්වය නිසයි. එම තත්ත්වයට වගේම ජනතාවට වැළඳෙන රෝග වැළැක්‌වීම සඳහා බස්‌නාහිර සෞඛ්‍ය ඇමැතිවරයා විශාල වැඩකොටසක්‌ සිදුකරනවා. එනිසා අපට අයිති රෝහල් කටයුතු අධීක්‍ෂණය කිරීමේ බලය බස්‌නාහිර සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දී තිබෙනවා. අප රටේ ජනතාවගේ සෞඛ්‍ය නඟාසිටුවීම සඳහා ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකසිය විසිපහක්‌ වෙන් කර තිබෙනවා. රටට වැඩක්‌ කළ හැකි නිරෝගී පිරිසක්‌ බිහිකිරීම සඳහා 2013 වසර බෝ නොවන රෝග මර්දනය කිරීමේ වසර ලෙස රජය මගින් නම් කර තිබෙනවා.

සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා - මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද බල ප්‍රදේශය මේ වන විට අයහපත් කාලගුණයෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. එසේ තිබියදීත් අපගේ බල ප්‍රදේශයට පැමිණ මේ උතුම් කාර්යයට සම්බන්ධ වීම පිළිබඳව එතුමාට ස්‌තූතිය පුද කර සිටිනවා.

බස්‌නාහිර සෞඛ්‍ය ඇමැතිවරයා ජනතාවගේ සෞඛ්‍ය නංවාලීමට සුවිශාල මෙහෙවරක්‌ කරනවා. ජනතාවට වැළඳෙන බෝ නොවන රෝග මර්දනයට විශාල මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ජනතාවගේ නිවැරදි නොවන විහරණ ක්‍රියා නිසා බෝ නොවන රෝග වැළඳෙනවා. ඒකට රජයට දොස්‌ කීම වැරදියි. රජය ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂා කරන්න පියවර ගෙන තිබෙනවා. ජනතාවට සුවිශේෂ මෙහෙවරක්‌ ඉටුකරන පළාත් සභාව ඉවත් කරන්න කියන එක වැරදියි. පළාත් සභාවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉදිරියට යා යුතුයි.

බස්‌නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා - අපේ බොහෝ සායන සේවාවන් සතියට දිනක්‌ දෙකක්‌ සිදුවුණත් මෙදින ආරම්භ වූ සායනයෙන් සතියේ දින හතේම ජනතාවට සේවාවන් ලබා දෙනවා. ළදරු හා මාතෘ කටයුතු වගේම ජනතාවගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා වැළඳුන බෝa නොවන රෝග පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබාදෙන අතර, ජනතාවගේ ශරීර සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම සඳහා ව්‍යායාම් පුහුණුව මෙහිදී සිදුකරනවා.

තල්පිටිය දළදාවත්ත විහාරාධිපති තල්පිටියේ චන්දරතන හිමියෝ මුලසුනේ දෙසුම කළ අතර, බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ස්‌තූති කතාව කළේය.

බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණකුමාර, විකුම් ගුණසේකර, සුගත් මතුගමගේ, සුමිත්ලාල් මෙන්ඩිස්‌, කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක, කළුතර දිසා ලේකම් යූ. ඩී. සී. ජයලාල්, කළුතර දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්‌. සිවකුමාර්, පානදුර ප්‍රාදේශීය ලේකම් කේ. ජී. විඡේසිරි, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය චන්දන පෙරේරා හා පානදුර ප්‍රාදේශීය සභා සභාපති නීල් සුනේත්‍රලාල් යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.