නීති විභාගයත් හලාල් ක්‍රමයට!

වග විභාගයකින් තොරව රටේ
සිදුවන වැඩ අතරට අලුතෙන්ම
එක්‌වී ඇත්තේ නීති විද්‍යාල ප්‍රවේශ
විභාගයේ ප්‍රතිඵලය පිළිබඳව තිබෙන චෝදනාවය. විශේෂත්වය වී ඇත්තේ මෙය වර්ගවාදය සවිමත් කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරයක අවශ්‍යතාවක්‌ ලෙස සාධක ගොනු වී චෝදනාව එල්ල වීමය.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සැලකිය හැක්‌කේ රටේ තිබෙන වෘත්තීයමය අංශයේ ප්‍රධාන තරගකාරී විභාගයක්‌ ලෙසය. නීතිඥයකුවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් තොරව ඇතුළුවිය හැකි එකම මඟ වීමත් වයස්‌ සීමාවකින් තොරව ඉක්‌මනින්ම නීතිඥ වෘත්තියට පිවිසීම සඳහා තිබෙන එකම ඉඩ ප්‍රස්‌ථාව මෙය වීමත් හේතුවෙන් එයට තිබෙන අගය වැඩිවී ඇත. වෘත්තීන්හි යෙදෙන්නන් බහුතරයක්‌ විසින් තමන්ගේ අනාගතය සඳහා තවත් අවස්‌ථාවක්‌ සේම, දැනට නිරත වන වෘත්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් ද නීතිඥයකු වීමට මෙම අවස්‌ථාව උපයෝගී කරගෙන තිබේ. සමහර ශිෂ්‍යයන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා සූදානම් වීමට සිය රැකියාවෙන් නිවාඩු නොලැබෙන විට අස්‌වූ අවස්‌ථාද බහුලය. සමහරුන් මෙම විභාගය සඳහා මුහුණදී තිබෙන අවස්‌ථා ගණන අටත් දහයත් තරම් ඉහළය. එවැනි තරගකාරී විභාගයක්‌ සඳහා විශේෂයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක තලයට ගෙන ඒමේදී වැදගත් කාර්යයක්‌ ඉටු කරන නීතිඥයකු වීමට අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුල් කර ගන්නා විභාගයේදී අවනීතියටම යට වීම සුළු පටු කාරණයක්‌ නොවේ.



මෙම විභාගය සඳහා සාමාන්‍යයෙන් අටදාහක්‌ තරමේ පිරිසක්‌ පෙනී සිටින අතර ඉන් තෝරා ගන්නේ 225-250 ක්‌ අතර පිරිසක්‌ය. නීති විද්‍යාලයේ පාලනය සිදු වන්නේ සංස්‌ථාගත නීති අධ්‍යයන සභාව මගින් වන අතර මේ සඳහා වන ප්‍රශ්න පත්‍රය සැකසීමේ කටයුතු සිදුකරන්නේ නීති අධ්‍යයන සභාව වන අතර එහි ඉතිරි විභාග කාර්යයන් සිදු කරන්නේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. සංස්‌ථාගත නීති අධ්‍යයන සභාවේ සාමාජිකයන් ලෙස නිල බලයෙන් අගවිනිසුරු, නීතිපති, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, සොලිසිටර් ජනරාල් තේරීපත් කරන අතර විනිසුරුවරුන් දෙදෙනකුද ඊට ඇතුළත්ය. අධිකරණ ඇමැතිවරයා නම් කරනු ලබන සාමාජිකයන් හයදෙනකු හා නීතිඥ සංගමය නම් කරන සාමාජිකයන් දෙදෙනකුද ඊට ඇතුළත්වේ. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාද එහි සාමාජිකයෙකි. නීති විද්‍යාලයත් එහි තෝරා ගන්නා පටිපාටිය සම්බන්ධයෙන්ද දෙපාර්තමේන්තුව සේම මෙම සාමාජිකයන්ගේද වගකීමක්‌ තිබේ.

ප්‍ර්‍රශ්නය මතුවී තිබෙන්නේ 2011 හා 2012 වර්ෂයේ පැවැත්වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙනි. මෙහිදී චෝදනා වී ඇත්තේ මෙම වසර දෙකේ අතිශයින්ම කැපී පෙනෙන ලෙස මෙම විභාගයෙන් මුස්‌ලිම් සිසුන් සංඛ්‍යාවක්‌ සමත් වීමය.(මෙය සනාථ කර ගැනීමට අදාල වගුව පසෙක දැක්‌වේ)

මෙම විභාගය භාෂා මාධ්‍ය තුනෙන්ම පවත්වනු ලබන අතර ඉංගී්‍රසි හා දෙමළ මාධ්‍යයෙන් මේ සඳහා පෙනී සිටින බහුතරයක්‌ මුස්‌ලිම් සිසුන්ය. එහි භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් වන මුස්‌ලිම් සිසුන්ගේ වර්ධනයක්‌ නොමැති වුවද එම භාෂා මාධ්‍ය දෙකෙන් මුස්‌ලිම් සිසුන් සමත්වීම මෙසේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්‌ තිබේ. 2010 සමග 2011 හා 2012 වසරේ සමත්වීම භාෂා මාධ්‍ය අනුව ගෙන බලන විට මෙම තත්ත්වය හොඳින්ම පැහැදිලි කර ගත හැකිය.

(1 වගුව බලන්න)

2012 විභාග ප්‍රතිඵලයේදී පළමු, දෙවැනි හා තුන්වැනි ස්‌ථානය ඉංග්‍රීසි මාධ්‍යයේ මුස්‌ලිමුන් විසින් ලබාගෙන තිබීමත් එහි පළමු වැන්නා හා දෙවැන්නා එක ළඟ අංක පිහිටා තිබෙන අය වීමත් යන සාධක විසින් මෙය මුස්‌ලිම් වර්ගවාදයේ තවත් ව්‍යාප්තියක්‌ද යන සැකයට හේතුවී තිබේ.

මෙම සැකය වර්ධනය වන්නේ පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විසින් කරගෙන යන ලද වර්ගවාදී කර්තව්‍යයන් අනුව කල්පනා කිරීමේදී ය.

එම පක්‍ෂය දේශපාලනයේ නිරත වන්නේම මුස්‌ලිම් වර්ගවාදය සුපෝෂණය කිරීම වෙනුවෙනි. එහි නායකයන් අමාත්‍ය තනතුරු දැරූ සෑම අවස්‌ථාවකදීම එම අමාත්‍යාංශයන්හි පොදු තත්ත්වය බවට පත් වූයේ ඒවා මුස්‌ලිම් වර්ගවාදයේ ව්‍යාපෘති සඳහා බඳුන් වීමය. ඒ. එච්. එම්. අෂ්රොෆ්ට මෙන්ම රාවුෆ් හකීම්ටද එම චෝදනා පොදු විය. රාවුෆ් හකීම් අධිකරණ ඇමැතිවරයා බවට පත්වීමත් සමග පසු පවත්වනු ලැබූ විභාග දෙකේදීම නීති විද්‍යාලයට මුස්‌ලිම් සිසුන් බහුතරයක්‌ සමත්වීමේ රහස දක්‍ෂතාවය නොව වර්ගවාදී ක්‍රියා පිළිවෙත බවට සැක කළ හැක්‌කේ මෙම අතීත තත්ත්වයන්ද සැලකිල්ලට ගෙනය.

ප්‍රතිඵල නිකුත් කිරීමේ විනිවිදභාවයද 2011 හා 2012 වසර වලදී තිබෙන්නේ පහළ තත්ත්වයකය. 2010 වසර තෙක්‌ නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නීති විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ පළකිරීම සම්ප්‍රදාය වූ අතර එම ලේඛනය තුළ අපේක්‍ෂකයාගේ

1. විභාග අංකය

2. සම්පූර්ණ නම

3. ලිපිනය

4. ස්‌ත්‍රී පුරුෂ භාවය.

5. විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍යය

6. ලබාගත් ලකුණු ප්‍රමාණය

7. හිමිකරගත් ස්‌ථානය

යන විස්‌තර ප්‍රදර්ශනය වූ අතර එය විනිවිදභාවයෙන් යුක්‌ත වූවක්‌ විය.

2011 විභාගයේ ප්‍රතිඵල නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළද එහි ද සිසුන්ගේ ලිපිනය ඉවත් කර තිබිණි. 2012 වන විට ලිපිනය හා විභාගයට පෙනී සිටි මාධ්‍යය යන දෙකම ඉවත් කිරීමත් සමග මතුවන තත්ත්වයකට කල් තබා යෙදූ පිළියමක්‌ ලෙස එය තේරුම් ගත හැකි ආකාරයක්‌ නිර්මාණය වී තිබිණි.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව විසින් මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන ලිපියකදී විභාගය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය හා ඊට පිළියම් ලෙස පහත කරුණු මතුකර තිබිණි.

විභාග ප්‍රතිඵල මෙසේ ඇදහිය නොහැකි ආකාරයට වෙනස්‌ වීමට බලපෑ හැකි හේතූන් මොනවාද?

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය බාහිර පුද්ගලයන් අතරම පිටවූ ආකාරයට නීති ප්‍රවේශ ප්‍ර්‍රශ්න පත්‍රයද යම් පුද්ගලයකු හට පිටවී ඇති දැයි අප තුළ සාධාරණ සැකයක්‌ පවතී.

එසේම ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කරන අවස්‌ථාවේදී එය බාහිර පුද්ගලයකු හට අයථා ලෙස පත්වී ඇතිද යන්න හා පරිවර්තනයේදී දමිළ මාධ්‍ය සිසුන්ට වාසිදායක වන ආකාරයට එහි පරිවර්තන කටයුතු සිදුකර ඇති ද යන්න පිළිබඳව ද අප තුළ විශාල සැකයක්‌ පවතී.

මෙවර විභාගයේදී ප්‍රථම හා දෙවැනි ස්‌ථානය ලබාගෙන ඇත්තේ එකම ළඟ විභාග අංක ඇති මුස්‌ලිම් සිසුන් දෙදෙනකු වන අතර තෙවැනි ස්‌ථානයද මුස්‌ලිම් සිසුවෙක්‌ වීම තුළින් විභාගය පැවැත්වෙන අවස්‌ථාවලදී දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සඳහා යම් ආකාරයක විශේෂ අනුග්‍රහයක්‌ ලබාදීමෙන් විභාග අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බවට අප තුළ විශාල සැකයක්‌ ඇත.

විභාග ප්‍රශ්න පත්‍රය තුළ 2011 වර්ෂය තුළ හා ඊට පෙර දක්‌නට ලැබුණා සේම 2012 වර්ෂයේදීද සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී නොමඟ යවන සුලු හා පාඨමාලා ග්‍රන්ථයෙන් බැහැර වූ වචන යෙදූ ප්‍රශ්න විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබුණු අතර එය ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට සිදු නොවූ සිංහල මාධ්‍ය සිසුන්ට පමණක්‌ සිදුවූ අසාධාරණ ක්‍රියාවකි.

තවද විභාග පිළිතුරු පත්‍ර අධ්‍යයනය කිරීමේදී සිංහල සිසුන්ට වඩා ලිහිල් ආකාරයෙන් දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු අධ්‍යයනය කිරීම සිදුකර ඇති බවත් සිංහල මාධ්‍ය සිසුන්ගේ ප්‍රතිඵල අසාධාරණ පිළිවෙතක්‌ යටතේ අධ්‍යයනයට ලක්‌කර ඇති බවටත් අප තුළ විශාල සැකයක්‌ ඇත.

එසේ නොමැති නම් විභාගය සඳහා ඉදිරිපත් නොවූ ශිෂ්‍යයන්ගේ නම් අයථා ආකාරයට ඇතුළත් කිරීමක්‌ කර ප්‍රතිඵල විකෘති කර ඇතිදැයි යන සැකය ප්‍රතිඵලවල දක්‌නට ලැබෙන විෂමතාවන් හේතුවෙන් අප තුළ මතුවී ඇත.

මේ නිසා 2012 නීති විද්‍යාල ප්‍රවේශයේ ප්‍රතිඵල පිළිගත නොහැකි සහ අසාධාරණවූත්, වැරැදිසහගත වූත්, විකෘති ප්‍රතිඵලයක්‌ වන බවත් එය නීති ප්‍රවේශ විභාගයට සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන්හට සිදුවූ බරපතළ අසාධාරණ ක්‍රියාවකි.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වැනි දැඩි තරගකාරී වූ විභාගයක්‌ සඳහා සිය ජීවිතයේ වටිනා අවස්‌ථාවන්, කාලය හා මිල මුදල් කැප කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් කොළඹ ප්‍රදේශයට පැමිණ උපකාරක පංති සඳහා සහභාගිවී විභාගයට ඉදිරිපත් වූ සිසුන් වන අප මෙම ප්‍රතිඵලය පිළිබඳවද දැඩි වික්‌ෂිප්ත භාවයට පත්ව ඇති අතර එය මුළුමහත් සමාජයේම සැකයට තුඩු දෙන කරුණකි.

එසේම අධ්‍යාපනය සඳහා ඇති සමාන අවස්‌ථාවන් මේ තුළින් උල්ලංඝනය වී ඇති අතර භාෂාව හේතුවෙන් සිංහල මාධ්‍ය සිසුන්ට සිදුවූ වෙනස්‌කමත් ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සිසුන්ට සිදුකර ඇති විශේෂත්වයත් හේතුවෙන් මෙම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි 6500 ක්‌ පමණ වූ විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්‌ සිදුව ඇත.

දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ නීති ප්‍රවේශ විභාගය මුස්‌ලිම් වර්ගවාදයෙන් ඔද්දල් වූවන්ගේ වුවමනාවට යට කරනවාද යන්නය.

මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ සඳහා පළමු පියවර ආණ්‌ඩුව විසින් ගත යුතු යෑයි අප යෝජනා කරන අතර එසේ නොවුවහොත් ඊළඟ අදියරේදී නීති ප්‍රවේශ විභාගය ද වල්මත්වීම සිදුවනු ඇත.

මනෝජ් අබයදීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.