දැන (නොදැන) කුණු කෑම

කුණු අල, කුණු ලූනු, කුණු කරවල, කුණු එළවළු යන සියල්ලම "අශූචි පන්තියට" අයත්ය කියන අප්‍රියජනක කතාවෙන් අද කර්තෘ වාක්‍යය ආරම්භ කරනු ලැබේ. මේ සියල්ලෙන්ම නිකුත්වන පොදු වායු වර්ග එකක්‌ හෝ දෙකක්‌ තිබේ. ඒවා වූකලී මීතේන් හෝ ඇමෝනියාය. නැතහොත් නයිට්‍රජන්ය. අප අර්තාපල් මිලට ගන්නේ නයිට්‍රජන් කෑමට නොව අර්තාපල් කෑමටය. ලූනු මිලට ගන්නේ ලූනු අනුභව කිරීමට මිස මීතේන් හෝ ඇමෝනියා කෑමට නොවේ. මේ වායු වර්ග පරිසරය ඔස්‌සේ අපගේ ශරීරවලට යම් යම් මාත්‍රාවලින් ඇතුළත් වුවද අප ඒවා ආහාරය පිණිස යයි කියා කඩෙන් මිලට ගන්නේ නැත.

එහෙත් පසුගිය දිනවල සතොස ගබඩා කිහිපයකින්ද, තොග කඩ කිහිපයකින්ද කුණු අල, කුණු ලූනු යනාදිය හසුවීම නිසා පෙරකී වායු වර්ග අනියම් මාර්ගයකින් පාරිභෝගිකයාගේ අතට යන්නේය යන මතය අප තුළ ඇති විය. එහෙත් ආණ්‌ඩුවෙම ගබඩාවලට පැන්න වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස පෙරකී කුණු ගොඩවල් අත්අඩංගුවට ගැනීම නිසා අප ගැලවින.

කුණු අල ටොන් විසිපහක්‌ රැගත් කන්ටේනර් දෙකක්‌ ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු කොළඹ පෑලියගොඩ නුගේ පාරෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි ඊයේ "දිවයින" හෙළි කළාය. වැටලීම සිදු කෙරුණේ කුණු අල තොගයක්‌ කන්ටේනරයෙන් ගෙන ත්‍රිරෝද රථ දෙකකට පැටවීමේදීය. එසේ කළේ එම කුණු ගොඩවල් මාදම්පිටියේ කුණුගොඩට ගෙන ගොස්‌ දැමීමට නොව දුර පළාත්වලට ගොස්‌ විකුණනු පිණිසය. කුණු අර්තාපල් සහ කුණු එළවළුවල ප්‍රධාන ගැණුම්කරුවා වන්නේ හෝටල්කාරයන්ය. අල ගෙඩියක පැත්තක්‌ කුණුවී පැත්තක්‌ කුණු නොවූ විට එසේ කුණු නොවූ පැත්ත ඉතා හොඳින් තම්බා පිස අල හොද්දක්‌ සෑදු විට විෂ බීජ සියල්ලම මිය යනු ඇතැයි හෝටල්කාරයා කල්පනා කරනවා ඇත. එහෙත් එසේ වන්නේ නැත. සමහර කුණු එළවළු වල ඇති විෂ බීජ තැම්බුවා නොව පිළිස්‌සුවත් වැනසෙන්නේ නැත. උදාහරණයක්‌ වශයෙන් ඌරුමස්‌ ගෙන බලමු. µeරන්හයිට්‌ අංශක 212 උෂ්ණත්වය යටතේ සතියක්‌ තැම්බුවත් විනාශ නොවන විෂ බීජ වර්ගයක්‌ මෙහි තිබේ. එහෙත් පැය 24 ක කාලයක්‌ අධිශීතකරණයක සූකර මාංශය තැබූ විට එම විෂ බීජය විනාශ වෙයි.

මේ රටේ නාගරිකයේ ඇති හෝටල් වැඩිහරියක කුණු එළවළු පිසිනු ලැබේ. කඩෙන් ගෙනා ඔබේ බත්පතේ ඇති බෝංචි ව්‍යාංජනය හොඳින් පිරික්‌සා බලන විට පැල්ලම් සහිත බෝංචි කැබලි ඔබට හමුවුණොත් ස්‌ථිර වශයෙන්ම කුණුවූ බෝංචිය. එසේම ඔබේ බත්පතේ ඇති අල කැබැල්ල දෙකඩ කර බලන විට ඒ මැද කළු පැහැති ලපයක්‌ තිබුණොත් ස්‌ථිර වශයෙන්ම එය කුණුවෙලාය. ඔබේ බත්පතේ ඇති මාළු හෝ මස්‌ කුණුවූ විට ඒ බව බලාගත හැක්‌කේ ඔබේ මරණ පරීක්‍ෂණයෙනි. ඔබේ මරණය තීන්දු කළ ඒ විෂ බීජය සැල්මොනෙල්ලා ද නැතහොත් වෙනත් දෙයක්‌ද යන්න මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් පසු රසායනාගාරය ඔබේ ඥතීන්ට පවසනවා ඇත.

"කුණු" යනු තුන්වන ලෝකයේ ආහාරය බවට බටහිර ලෝකය පිළිගත් කාලයක්‌ විය. දියුණු ලෝකය ආහාර සහ අනාථාධාර ඒජන්සි මගින් ශ්‍රී ලංකාවට එවන ලද කුණු පරිප්පු, කුණු බිස්‌කට්‌, කුණු සහල් යනාදිය පසුගිය කාලයේදී නිතර නිතර හමුවිය. අප්‍රිකාවේ දුප්පත් රටවලටත් මේ කුණු බෙදා හැරීම සිරිතක්‌ව තිබුණේය. සුඩානය, ඝානාව, උගන්ඩාව, ඉතියෝපියාව, සෝමාලියාව යන අප්‍රිකානු රටවල නොදියුණු පළාත්වලට යවන ලද මෙබඳු කුණු ආහාර විශාල වශයෙන් පසුකාලයේදී හසුවිය. එහෙත් අප්‍රිකානු රටවල ළමයින්ගේ සිට බාලයා දක්‌වා සියලු දෙනාගේ උදර තුළ කිසියම් "ප්‍රාතිහාර්යයක්‌" වෙසෙයි. ඒ නිසා ඒ අයට ඒ කෑමෙන් හානියක්‌ වුණේ නැත.

එහෙත් දැන දැන මිනිසුන්ට කුණු කන්නට දීම මිනිස්‌කමට නිගා දෙන බලවත් අපරාධයකි. එබැවින් කුණු ගොඩවල් ගෙන්වන කැනහිලුන් අල්ලා ඒ කුණුත් සමගම මාදම්පිටියේ කුණුවලට වීසි කළ යුතුය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.