13 නැවතත් කරළියට

මේ වනවිට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය විය යුතු යෑයි යෝජනා වෙමින් ඇති බව පෙනෙන්නට ඇත. එම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මෙරට දේශමාමක කොටස්‌ සහ විද්වතුන් විසින්ය. ඒ අතර ආණ්‌ඩුව විසින් නැවතත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දෙස අවධානය යොමු කරන බවක්‌ද පෙනෙන්නට ඇත. දිගින් දිගටම රට තුළ පවතින දේශපාලන විකෘති ස්‌වභාවය නැති කිරීම සඳහා මීට පෙරද එවන් යෝජනා ඉදිරිපත් විය. මෙවර එහි විශේෂත්වය වන්නේ අගවිනිසුරුවරිය තනතුරෙන් පහකිරීම පිණිස ගෙන ආ පාර්ලිමේන්තු දොaෂාභියෝගය හේතුකොටගෙන එය සිදු වීමය. එනිසා එම යෝජනා තුළින් තවදුරටත් ගම්‍ය වන්නේ ව්‍යවස්‌ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුම් නිර්මාණය නොවන ලෙසින් එය සම්පාදනය විය යුතු බවය. කෙසේ හෝ මේ ආකාරයෙන් 13 නැවතත් කරළියට පැමිණ ඇත. මේ රටේ වැඩ කරන සහ හරිහමන් වැඩක්‌ කරගන්නට අවකාශයක්‌ නැති, එදාවේල ගැටගසා ගන්නට නොහැකි, අහිංසක අසරණ මිනිසුන්ගේ ප්‍රශ්න වලට වරින් වර ආණ්‌ඩුව ලබා දෙන්නේ මෙවන් පිළිතුරුය. තම දේශපාලන නොහැකියාවන් වසාගන්නට සෑම රජයක්‌ම අනුගමනය කළ පිළිවෙතද ඒ ඒ වෙලාවට මොකක්‌ හෝ මාතෘකාවක්‌ කරළියට ගෙන ඒමය.

එමෙන්ම 19 වැනි වරටත් ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා වෙනුවට බලාත්මක නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරන ලෙසද එම යෝජනා අනුව පෙනෙන්නට ඇත. එම යෝජකයන් විසින් තවදුරටත් ඉල්ලන්නේ ව්‍යවස්‌ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුලුනු තුනේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි සහ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී ජනරජය" යනුවෙන් රට ඉදිරියේ දමාගෙන ඇති බෝඩ් ලෑල්ල අර්ථවත් වන ලෙසින් එය සිදු විය යුතුය යනුවෙනි. ඇත්ත වශයෙන්ම රටක ව්‍යවස්‌ථාව යනු එම නාම පුවරුවට අනුව ඒ රට ගොඩ නගනු පිණිස සම්පාදනය කළයුතු දේශපාලන න්‍යාය පත්‍රයයි.

මොකක්‌ද මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කියන්නෙ? ඒ කියන්නෙ රට තුළ යහපාලනය සිදු කරන්නට සම්පාදනය කරනු ලබන දේශපාලන න්‍යායපත්‍රය නොහොත් එය අන්තර්ගත කෙරෙන නිත්‍යානුකූල ලියවිල්ලටයි. මොනවද එහි අන්තර්ගත විය යුතු වන්නේ? රටේ දියුණුව නොහොත් සංවර්ධනය සිදු කෙරෙන ආකාරය, නාස්‌තිය දූෂණය භීෂණය පිටු දකින ආකාරය, ජනතාව අතර සමගිය සහජීවනය මෙන්ම යහපත් ආකල්ප පෝෂණය වන ආකාරය, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ අපේකම් නොහොත් අනන්‍යතාවන් රැකෙන ආකාරය, දේශය හමුවේ නිර්මාණය වන සියලු අභියෝග සහ අර්බුද ජයගන්නා ආකාරය යනාදී ප්‍රධාන කරුණු කාරණාය.

එම දේශපාලන න්‍යායපත්‍රය පෙළගැසිය යුතු වන්නේ කෙසේද? එහි ආරම්භය හොඳ දැක්‌මක්‌ නොහොත් යථාර්තවාදී දර්ශනයක්‌ විය යුතුය. එම දැක්‌ම දෙස, බස, රැස, රැකෙන එකක්‌ විය යුතුය. දෙවනුව ඉහත සඳහන් කළ නාම පුවරුව නොහොත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එහි ශක්‌තිමත් පදනම විය යුතුය. තෙවනුව ධනය, සම්පත්, සේවය, සුබසාධනය, පුද්ගල අයිතිය, සාධාරණව බෙදෙන යහපත් රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියක්‌ මෙන්ම අංශානුකූල වන ජාතික ප්‍රතිපත්ති කීපය එහි අඩංගු විය යුතුය. සිව්වනුව මුල මැද අග සහිත ඉලක්‌ක සහ අරමුණු තිබිය යුතුය. පස්‌වනුව ඉතාමත් සරල, සෘජු සහ සමීපතම මෙන්ම විනිවිද දැකිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ එහි අන්තර්ගත විය යුතුය. අනතුරුව එම ව්‍යවස්‌ථාව පෝෂණය කෙරෙන සහ ආරක්‍ෂා කෙරෙන නිත්‍යානුකූල රාමුවකින් එය ආවරණය විය යුතුය. එය දුරදක්‌නා නුවනින් සම්පාදනය කෙරුණු දීර්ඝ කාලීන සැලැස්‌මක්‌ විය යුතුය. එසේ සිදුවනවා නම් පමණක්‌ එය සැබෑ ව්‍යවස්‌ථාවක්‌ වන්නේය.

එහෙත් මොකක්‌ද මේ 13 කියන්නේ? එය එවන් පැහැදිලි න්‍යායපත්‍රයක්‌ ලෙස අර්ථ ගන්වන්ට නොහැකි එකකි. ඒක මේ රට දැය සමය විනාශ කරන්නට වෙස්‌ වලාගෙන ආපු අවතාරයකි. ඒකෙ රටට ගැළපෙන දැක්‌මක්‌, ශක්‌තිමත් පදනමක්‌ හෝ යහපත් ප්‍රතිපත්තියක්‌ නැත. එහි ඉලක්‌කය නොහොත් අන්තර්ගතය දේශපාලන වශයෙන් බලය බෙදීම පමණි. එහි ප්‍රායෝගික වැඩපිළිවෙළ රට බෙදීම සහ අපගේ අනන්‍යතාවන් විනාශ කර දැමීමය. එය මෙරට ඒකීය බව විනාශ කරන මෙන්ම පෙඩරල් සහ එක්‌සත් වැනි රට බෙදන ක්‍රමවේදයකි. එනිසා එය අපේ කමට අනුව තැනුන එකක්‌ ද නොවෙති. ඒක කාටවත් බයේ කාගෙවත් වුවමනාවට සහ හරිහමන් දේශපාලන න්‍යාය පත්‍රය හඳුනාගන්නට නොදන්නකම නිසා ආනයනය කළ එකකි. එමෙන්ම එය තවමත් හඳුනා ගන්නට නොහැකි ගෝනි බිල්ලෙක්‌ බඳුය. හෙටට කල් දැමෙන බාලගිරිදොaෂය වැනිය. එනිසා එය සංශෝධන කිරීමෙන් කවදාවත් යහපතක්‌ සිදු නොවනු ඇත. එය මුළුමනින්ම හකුලා කුණු කූඩයට දැමිය යුතු එකක්‌ ලෙස හැඳින්විය හැකි වන්නේ එනිසාය.

කෙසේ වෙතත් විධායකය, ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය යන කුලුනු තුන පමණක්‌ ශක්‌තිමත් කිරීමෙන් පමණක්‌ එය පූර්ණ ව්‍යවස්‌ථාවක්‌ වන්නේ ද නැත. නීති පොත පමණක්‌ ලොකුවට සම්පාදනය කිරීමෙන් පමණක්‌ යහපාලනය ස්‌ථාපිත කළ හැකි වන්නේ ද නැත. හැදෙන රටකට ලොකු නීති පොතක්‌ අවශ්‍ය වන්නේද නැත. නීති පොත සම්පාදනය කළ යුතු වන්නේ දේශපාලන න්‍යායපත්‍රය ආරක්‍ෂා කර, සුරක්‍ෂිත කර ගැනීම පිණිසය. දැඩි නීතියෙන් සහ බලයෙන් පමණක්‌ සමාජයක්‌ පාලනය කිරීම යහපත් නැත. එය ප්‍රායෝගික කාර්යයක්‌ වන්නේද නැත. එසේ කිරීම තුළින් සිදුවන්නේ සමාජය පීඩනයට ලක්‌වීම පමණි. පීඩනය යනු කොයි මොහොතක හෝ පුපුරා යන දෙයකි. පසුගිය කාල වකවානු තුළ පුපුරා ගියේ එවන් පීඩන තත්ත්වයන්ය. එනිසා අවශ්‍ය වන්නේ ලොකු නීති පොතක්‌ නොව නීති රීති නොකැඩෙන සහ ආරක්‍ෂා වන සමාජ වටපිටාවක්‌ නිර්මාණය කිරීම පමණි. ඒ බව දැන්වත් වටහා ගත යුතුය.

මේ රට ඉතා කුඩා රටකි. පාලනය කරන්නට හෝ කළමනාකරණය කරන්නට පහසු රටකි. ආශ්චර්ය පාන්නට පහසු රටකි. යහපත් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ සහ බුද්ධිමත් මෙන්ම දක්‍ෂ නායකයන් වේනම් එය සරල කාරණයකි. පසුගිය දශක හය ගතවන තුරුම එසේ සිදු නොවීම තුළින් කියාපාන්නේ එවන් දේශපාලන න්‍යායපත්‍රයක්‌ (ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌) නොතිබූ බව සහ එවන් නායකයන් නොසිටි බවය, නායකයන් දක්‍ෂ සහ බුද්ධිමත් යනුවෙන් සලකන්නට හැකි වන්නේද එවන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළොත් පමණි. එහෙත් එදා සිටම එවන් දෙයක්‌ නොවූ බව පැහැදිලිය. අදත් සැරසෙන්නේ පරණ වරිච්චියටම මැටි ගසන්නට බව පැහැදිලිය. එසේ කළහොත් ලද යුද ජයග්‍රහණයෙන්ද පලක්‌ නොවන බව පැහැදිලිය. ජාතියේ අපේක්‍ෂාවන් සියල්ල බොඳ වී යන බව පැහැදිළිය. එනිසා එම වැරදි අතීතය පාඩමකට ගත යුතුය. එම වැරදි මිහිදන් කළ යුතුය. අලුතෙන් සිතා අලුත් වෙනසකට යා යුතුය. සාමකාමී පෙරළිකාර වෙනසකට යා යුතුය. එය සිහි නුවණින් මෙන්ම ප්‍රඥගෝචරව කළ යුතුය. කෙසේ වෙතත් එවන් දේශපාලන න්‍යාය පත්‍රයකට යැමට පෙර වර්තමාන දේශපාලන රාමුව ව්‍යqහාත්මක වශයෙන් සංශෝධන තුනකට ලක්‌කළ යුතු වනු ඇත. එනම්, පළමුව රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම, දෙවනුව රාජ්‍ය ආදායම සහ වියදම (අය-වැය) යථාවාදීව වෙන්කර ගැනීම, තෙවනුව රටේ සංවර්ධනය පිණිස දායක කර ගත යුතු සහ බැහැර කළ යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම, යන සංශෝධන ත්‍රිත්වයයි. මන්ද, මේ තුනම මුල සිට මේ වන තෙක්‌ම පටලවාගෙන ඇති හෙයිනි. ඒ හේතුවෙන් මුළුමහත් සමාජ වටපිටාවම විකෘති වී ඇති හෙයිනි.

එනිසා පළමු සංශෝධනය සිදු විය යුතු වන්නේ මෙලෙසිනි. සියලුම පරිපාලන කටයුතු, සේවා සහ ශුභසාධන කටයුතු මෙන්ම සියලුම යටිතල පහසුකම් සැපයීම, බදු සහ බලපත්‍ර මෙන්ම ලියාපදිංචි ගාස්‌තු, මුද්දර ගාස්‌තු යනාදිය අයකර ගැනීම, 100% ක්‌ම රජයේ පාර්ශ්වය විසින්ම සිදු විය යුතුය. කෘෂිකාර්මික, ධීවර, කාර්මික, ඉදිකිරීම්, වෙනත් නිෂ්පාදන සහ වෙළෙඳ කටයුතු 100% ක්‌ම පෞද්ගලික අංශය වෙත භාර කළ යුතුය.

දෙවැනි සංශෝධනය මෙසේ සිදු විය යුතුය. රජයේ 100% ක ආදායම සියලුම බදු, බලපත්‍ර සහ ලියාපදිංචි ගාස්‌තු මෙන්ම මුද්දර ගාස්‌තු යනාදිය මගින් පමණක්‌ ආවරණය විය යුතුය. රජයේ 100% ක වියදම පරිපාලන කටයුතු, සේවා සැපයීම්, යටිතල පහසුකම් සහ සුබසාධන කටයුතු සඳහා පමණක්‌ විය යුතුය. එම වියදම් සහ ආදායම් අතර ශේෂය අතිරික්‌තයක්‌ බවට පත්කර, මෙතෙක්‌ දෙස්‌ විදෙස්‌ වශයෙන් ගෙන ඇති ණය ආපසු ගෙවීමට සහ අනාගතයේදී මුහුණ පාන්නට සිදුවන විවිධාකාර ආපදා සහ විපත් ආවරණය කර ගැනීමට මෙන්ම මතු පරපුරෙහි සුබ අනාගතය වෙනුවෙන් එය මහා භාණ්‌ඩාගාරය තුළ ඉතිරි විය යුතුය.

තෙවැනි සංශෝධනය සිදු විය යුතු වන්නේ මෙලෙසිනි. කෘෂිකාර්මික සහ කාර්මික නිපැයුම්, ඒ හා සමාන සේවා සහ වෙළෙඳ කටයුතු, තෝරාගත් ආනයන සහ අපනයන කටයුතු, යනාදී යහපත් කර්මාන්ත පමණක්‌ සංවර්ධනය සඳහා සමීප කර ගත යුතුය. දෙස්‌ විදෙස්‌ ණය නම් වූ මිත්‍යාවද, පොලිය නම් වූ අසාධාරණයද, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි යනාදී සුරාවද, ලොතරැයි රේස්‌ කැසිනෝ යනාදී සූදුවද, සමාජයෙන් බැහැර කළ යුතුය. පරපුටු මානසිකත්වයෙන් යුතු ආනයනය, විදෙස්‌ රැකියා, විදෙස්‌ ආයෝජකයන් සහ විදෙස්‌ සංචාරකයන් ආදී හානිකර, අවිනිශ්චිත සහ පරපුටු කර්මාන්ත නොපතා සිටින්නට හැකි වන පරිදි එය සිදුවිය යුතුය.

එසේ නොමැතිව සුපුරුදු රොටියම කබල මත දෙපැත්ත පෙරළමින් කන්නට නොහැකි තරම් පුළුස්‌සා ගන්නා සේ දහඅට වතාවක්‌ සංශෝධනය කර මේ වන තෙක්‌ යහපල ලබන්නට නොහැකි වූ සහ වගතුවක්‌ නොවූ එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තව දුරටත් සංශෝධනය කරනවාද, එයින්ම සැදුණු දහතුන ගැන නැවතත් විශ්වාසය තබනවාද, ඒ දෙකම කුණු කූඩයට දමා, අපට අපේකම් වලට සහ අප සැමගේ සුබ අනාගතය සඳහා ඉහතින් සඳහන් කළ දේශපාලන න්‍යායපත්‍රික රාමුවට අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරනවාද, යන්න තෝරා බේරා ගැනීම පිණිස වගකිව යුත්තන්ගේ නැණ නුවණ පැහැදේවා යෑයි, අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

බී. එම්. එස්‌. බාලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.