ගංජා ලෝකයේ දේශපාලන සුරුට්‌ටු

ගංජා හේන්කාරයන්, හරක්‌ හොරුන්, වැලි ගොඩ දමන්නන්, නිධන් හාරන්නන්, කැලෑ කපන්නන් වැනි කාලකන්නි ජාවාරම්කාරයන් ප්‍රමුඛ දේශපාලනඥයන් කිහිපදෙනකුගේ බලයට අවනත වූ පොලිස්‌ දෙපාර්තමේන්තුව මොනරාගල භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතා බදුල්ලට මාරු කළ බව ඊයේ (18 දා) "දිවයිනේ" මුල් පිටුවේ පළ වී තිබේ. මෙය ඇත්ත වශයෙන්ම සංවේගයෙන් වාර්තා කිරීමකි. දැනට සිටින පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා කොන්ද පණ ඇති නිලධාරියකු බවට රටේ පිළිගැනීමක්‌ තිබිණි.. ඔහු දේශපාලනඥයන්ගේ ටෙලිෆොන් කෝල් ඉදිරිපිට ඇඹරුණේ නැත. එහෙත් අවසානයේදී පොලිස්‌පතිගේ කොන්ද කැඩීමට දේශපාලනඥයන් සමත්ව ඇති බව පෙනේ. ලතීෆ් බදුල්ලට මාරු කිරීම දේශපාලන පළිගැනීමක්‌ බවට අපි යෝජනා කරමු. මොණරාගල ජනයා එය ස්‌ථීර කරනවා ඇත. මේ කරන ලද මාරුව දඬුවම් මාරුවකි. ලතීෆ්ගේ වෘත්තීය අනාගතයට මෙය ඉතාම නරකට බලපාන්නේය.

මේ රටේ දේශපාලනඥයන්ගෙන් සෑහෙන පිරිසක්‌ අද ජීවත් වන්නේ ජාවාරම්කාරයන්ගේ මුදල්වලිනි. රටේ දේශපාලනය හැඩ ගැසී ඇති ආකාරයට අනුව දේශපාලනඥයන්ට අති මහත් මුදල් සම්භාරයක්‌ උවමනාය. මේ මුදල්, ඇමැතිවරුන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුපෙන් සපුරා ගැනීමට බැරිය. ඒ නිසා හැම දේශපාලනඥයකු පිටුපසම ජාවාරම්කාරයන් එකකු හෝ කිහිපදෙනෙක්‌ හැම විටම සිටිති. සමහර මුදලාලිලාට දේශපාලනඥයන් නඩත්තු කිරීම සඳහාම පමණක්‌ වෙනම මුදල් උපයන්නට සිදුවී තිබේ. සාමාන්‍ය බිස්‌නස්‌වලින් එතරම් විශාල මුදලක්‌ සපයා ගැනීමට නොහැක. ඒ අනුව නිධන් හෑරීම, ගංජා වැවීම, අනුන්ගේ හරක්‌ හොරකම් කර කොළඹට පැටවිම, ගස්‌ කපා විකිණීම වැනි ෂබිඒබඑ ජ්sය (ඉන්ස්‌ටන්ට්‌ කෑෂ් හෙවත් ක්‍ෂණික සල්ලි) උපයන මාර්ගවලට මුදලාලිලා නැඹුරු වී සිටිති. මේ මුදලාලි කෙනකුට අනතුරක්‌ වූ විට ඔහුගෙන් යෑපෙන දේශපාලනඥයා නැගී සිටිය යුතුමය. මේ සඳහා අපගේ අල්ලපු රට වන ඉන්දියාවෙන් උදාහරණයක්‌ දිය හැකිය. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයන්ගෙන් සෑහෙන පිරිසක්‌ යෑපෙනුයේ මුහුදුකරයේ සිටින මාළු මුදලාලිලාගෙනි. මේ දේශපාලනඥයන්ට මුදල් දීම සඳහා මුළු මහත් තමිල්නාඩු සාගර කලාපයේම සිටින මාළු අල්ලා වික්‌කත් මදි බැවින් මාළු මුදලාලිලා විශාල ට්‍රොaලර් යාත්‍රාවලින් ශ්‍රී ලංකාවේ මුහුද ආක්‍රමණය කර මාළු ටික සුද්ධ කරගෙන යති. මෙසේ එන ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කල්හි තමිල්නාඩුවේ සිටින දේශපාලනඥයෝ එයට විරෝධය පළ කරමින් නටන්නට පටන් ගනිති. ඔවුන් එසේ නොනැටුවොත් ලංකා ආණ්‌ඩුව එම ධීවරයන් නිදහස්‌ කරන්නේ නැත. එම ධීවරයන් නිදහස්‌ නොකෙරුණොත් තමිල්නාඩු දේශපාලනඥයන්ට ඔවුන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැත. එවිට එම දේශපාලනඥයන්ට ඊළඟ ඡන්දයේදී වියදම් කරන්නට සල්ලි ලැබෙන්නේ නැත. සල්ලි වියදම් නොකළොත් ඔවුන්ට දිනන්නට ලැබෙන්නේ නැත. නොදිනුවොත් ඔවුන්ට පාර්ලිමේන්තුවට හෝ ප්‍රාන්ත සභාවට යන්නට හැකි වන්නේ නැත.

නියෝජ්‍ය පොලිස්‌පති ලතීෆ් බදුල්ලට මාරු කිරීම පිටුපස ඇති කතාව එයය. මේ අනුව රස්‌සාව බේරා ගැනීමට නම් සෙසු පොලිස්‌ නිලධාරීන් ද වැඩි වැඩ නොකළ යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.