ක්‍රිකට්‌ පිත්තෙන්  රටට පහර දීම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිය සහෝදරයන් ද සමඟ කොටි සංවිධානය ඉදිරිපිට දණගසන ලද්දේ නම් අද උතුරට වෙනම ජනාධිපති කෙනෙකුත්, රේගුවකුත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවකුත්, පාස්‌පෝට්‌ එකකුත් තිබෙන්නේය.

මේ තීරණාත්මක වෙලාවේදී ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අපේ රටේ ජාතික ක්‍රිකට්‌ පිල ඉදිරිපිට දණ ගැසුවොත් ඊළඟ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයේදී අපේ පිලට ඇල්වතුර ගෙන යන ග්‍රවුන්ඩ්බෝයි බවට පත්වීමට ඔහුට සිදුවන්නේය.

අපේ ජාතික ක්‍රිකට්‌ පිල, ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ ඇතිකරගෙන තිබෙන කොන්ත්‍රාත් ගිවිසුම අලුත් කිරීම සඳහා 10% ක වැටුප් වර්ධකයක්‌ ඉල්ලා සිටීම සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය මේ මොහොත වන විට මුළු රටම දනී. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ ක්‍රිකට්‌ පිල මස්‌ රාත්තල නොව රාත්තල් එකහමාරක්‌ම ඉල්ලා සිටින බවය. ලංකා ක්‍රිකට්‌ ආයතනය සිය ආදායමින් 69% ක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ගෙවන බව දැනගන්නට තිබේ. තවත් 10% ක්‌ ගෙවුවොත් එම ගණන 79% ක්‌ වෙයි. මෙවිට ඉතිරි වන්නේ 21% ක්‌ පමණි. ඒ විසිඑකත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ටම ගන්නමැයි කියා ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන්ටම පවරා දීමේ ක්‍රමවේදයක්‌ නැද්දැයි ආණ්‌ඩුව සොයා බැලිය යුතුය.

ක්‍රිකට්‌ ක්‍රීඩකයා යනු අතිවිශාල ධන සම්භාරයක්‌ උපයන කෙනෙකි. ඔහු ලබන ආදායම ඔහු බැට්‌ එක වනන වාර ගණනින් බෙදා බැලුවොත් (එම බැට්‌ පහර බෝලයට වැදුණත් නැතත්) එක බැට්‌ පාරකට රුපියල් ලක්‍ෂය ඉක්‌මවන්නේය. ඔවුන්ට නිල නොවන මට්‌ටමේ ඪෂඡ තත්ත්වයක්‌ රට තුළ ද ලෝකය තුළ ද ඇත. ජාතික ක්‍රිකට්‌ පිලට ඇතුළත් වීමෙන් ඔවුන් ලබන නිරාවරණය මත ඔවුන්ට විවිධ රටවල ක්‍රිකට්‌ සංගම්වලින් කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩා කිරීමට අවකාශ ලැබෙයි. එය ද සල්ලි උල්පතකි. ඔවුන්ගේ විශ්‍රාම කාලය ඉතා ප්‍රීතිමත්ය. රට රටවල ක්‍රිකට්‌ උපදේශකයන්, ක්‍රිකට්‌ විචාරකයන් ලෙස කටයුතු කරමින් තවත් රුපියල් කෝටි ගණනක්‌ ඉපැයීමේ අවකාශය ඔවුනට මෙමගින් ලැබෙයි. ඒ අතර පිළිකා රෝහලක්‌ වැනි ව්‍යාපෘතියකට සල්ලි එකතු කිරීමට ද ඔවුන්ට තම සිවිල් තත්ත්වය යොදා ගැනීමට හැකි ය. රෝහල නො හැදුණු විට එකතු කළ සල්ලිවලට කුමක්‌ වීද යන ප්‍රශ්නය කවුරුවත් අසන්නේ නැත. එය ඇසුවත් යට ගැසිය හැකිය.

ක්‍රිකට්‌ යනු රජයට මුදල් ලැබෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක්‌ වූ කාලයක්‌ විය. අද වන විට ජාතික ක්‍රිකට්‌ ආයතනය බංකොලොත් වී ඇති අතර බැංකු අයිරා මත දුවන තත්ත්වයකට පත්ව තිබේ. මෙය අනුභව කරන ලද්දේ දේශපාලනඥයන් සහ නිලධාරීන් විසිනි. එවැනි මොහොතක, මහින්දානන්ද අලුත්ගමගේට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ගොඩගැනීමේ අවංක අදහසක්‌ තිබෙන බව පැහැදිලිය.

එවැනි විටක ජාතික ක්‍රිකට්‌ පිල කළ යුත්තේ වැටී ඇති වළෙන් ගොඩ ඒමට රටට උදව් කිරීම මිස තම ගාස්‌තුව වැඩි කරමින් ආණ්‌ඩුවට වාත වීම නොවේ. තමන් අතගාන සෑම රුපියල් මිලියනයක පසුබිමෙහි තම දක්‍ෂතාව පමණක්‌ නොව රට ද සිටින බව ඔවුන් වටහා ගත යුතුය. ඔවුන් ඒ තත්ත්වය ලැබුවේ රට හරහා ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.