තාත්තා පවුල ජීවත් කළ ඔරුව විකුණා
දුව පාසලට දාන්නට මුදල් ගෙවලා

හුංගම විජයබා විදුහලට
බටඅත පියා දියණිය ඇතුළත් කළ හැටි


විස්‌තර සහ ඡායාරූප - නාකුළුගමුව - නෙල්සන් ගල්ඇටුඹගේ

හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක්‌ ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

හුංගම ජාතික පාසලේ විදුහල්පතිවරයා 2013 වර්ෂයට උසස්‌ පෙළ සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම සඳහා දුප්පත් පොහොසත් බේදයක්‌ නොතකා සිසු සිසුවියන් 130 කට ආසන්න ප්‍රමාණයකගෙන් රු. 4000 බැගින් අයකරගෙන ඇති බව දෙමාපියෝ කියති. ඒ වෙනුවෙන් රිසිට්‌පත් නිකුත් කර ඇත්තේ රු. 1460 කට පමණි. විදුහල්පතිවරයාගේ මෙවැනි අකටයුතුකම් පිළිබඳව දෙමවුපියන් විසින් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කර ඇතත් මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවරක්‌ ගෙන නොමැත.

තම දියණිය හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තියට ඇතුළත් කර ගැනීම සඳහා තමන් සතු එකම වස්‌තුව වන දරු පවුලේ ජීවනෝපාය සලසා ගත් ඔරුව විකිණීමට සිදු වූ පියා වන හුංගම දකුණු බටඅත වැවේගොඩ එස්‌. එච්. චන්ද්‍රසේන (40) මහතා මෙසේ පැවැසීය.

මගේ රැකියාව ධීවර කර්මාන්තය. මගේ වැඩිමහල් දියණිය දකුණු බටඅත කනිෂ්ඨයට ගියේ. එම පාසලේ 12 වසරට පන්ති නැහැ. දරුවා සාමාන්‍ය පෙළ විෂයයන් 9 ක්‌ සමත්. එයාට ඊළඟට යන්න තියෙන්නේ හුංගම විජයබා ජාතික පාසලට. දරුවා ඉල්ලුම් පත්‍රයක්‌ දැම්මා. කැඳවීම් ලිපියක්‌ ලැබුණා. සම්මුඛ පරීක්‌ෂණයට ගියා. ඉඩ පහසුකම් මදි කියලා විදුහල්පති කිව්වා. උසස්‌ පෙළ පන්තිවලට අලුතින් ශාලාවක්‌ හදන්න ඕනෑ කියලත් කිව්වා. ඩෙස්‌ක්‌ එකක්‌ පුටුවක්‌ ඕන කියාත් ඒකට මුදලක්‌ දෙන්න කියාත් කිව්වා.

පසුව දෙවැනි වරටත් කැඳෙව්වා. ඒ 9 ක්‌ නොවෙයි 25 ක්‌ අරගෙන තිබුණත් ගන්නේ නැහැ. රු. 4000 ක්‌ ඕනෑ කිව්වා. මට කරන්නම දෙයක්‌ නැති නිසාත් දරුවා ඉස්‌කෝලෙට දාන්නම ඕන නිසාත් අපේ දරු පවුලම ජීවත් කරවන්න තිබුණු ඔරුව රු.10,000 කට විකුණාන්න මම තීරණය කළා. වෙන විකුණන්න හරි උකස්‌ තියන්න හරි දෙයක්‌ තිබුණේ නෑ. ඔරුව විකුණලා රු. 10000 ක්‌ අරගෙන රු.4000 ක්‌ ඉස්‌කෝලෙට දුන්නා. එයින් රිසිට්‌පත් ලැබුණේ රු. 1460 කට පමණයි. පස්‌සේ ඉස්‌කෝලෙම තිබුණු කැඩුණු පුටුවකුයි ඩෙස්‌ක්‌ එකකුයි අපි සල්ලි දීලා හැදෙව්වා.

සිය දරුවකු හුංගම ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තියට ඇතුළත් කර ගැනීම සඳහා රු. 4000 ක්‌ විදුහලට ලබාදුන් හුංගම දකුණු බටඅත පදිංචි විමල් එදිරිසූරිය (51) මහතා මෙසේ පැවැසීය.

මගේ දරුවන් තුන් දෙනාගෙන් එක්‌ අයෙක්‌ විශ්වවිද්‍යාලයට තේරුණා. දෙවැනි දුව උසස්‌ පෙළ සඳහා හුංගම ජාතික පාසලට ඇතුළත් කරගන්න රු. 4000 ක්‌ ගත්තා. මම මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්‌. ඩෙක්‌ස්‌ පුටු හිඟයක්‌ තියෙනවා කියලා විදුහල්පති කිව්වා. අබලන් ඒවා තිබෙනවා නම් අපි ඒවා හදාගනිමු කියලා මම යෝජනා කළා. ඒකට ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැහැ. දුන් මුදල්වලට රිසිට්‌පතක්‌ දුන්නෙත් නැහැ. සල්ලි දුන්නු බවට අපෙන් අත්සන් ගත්තා. සාම විනිසුරුවරයෙක්‌ ඉදිරියේ අත්සන් කොට මෙම මුදල් විදුහල්පතිට භාර දුන්නා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.