දෝෂාභියෝගය පිළිබඳ  නඩු 5ක්‌ අද කැඳවයි

සරත් ධර්මසේන

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග චෝදනා විභාගයක්‌ පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු 05 ක්‌ එක විට විභාග කිරීමට දින නියම කිරීම සඳහා 09 දෙනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද කැඳවයි.

ශිරාණි තිලකවර්ධන (සභාපති), නිමල් ගාමිණී අමරතුංග, සලීම් මර්ෂුප්, කේ. ශ්‍රී පවන්, පී. ඒ. රත්නායක, සත්‍ය හෙට්‌ටිගේ, චන්ද්‍රd

දෝෂාභියෝගය පිළිබඳ

ඒකනායක, ප්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විත වේ.

මේවායින් නඩු 04 ක්‌ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ගොනුකර ඇති ඒවායි.

ආචාර්ය බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 78 ඒ වගන්තිය යටතේ විශේෂ තේරීම් කාරක සභාවක්‌ පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බැවින් එමගින් ගත් තීන්දු තීරණ ද අවලංගු කරන්නැයි මෙම පෙත්සම් 04 න් ඉල්ලා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට ඇති නඩුව හිටපු අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනා 03 කට වැරදිකරු කරමින් අභියාචනාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළ තීන්දුවට එරෙහිව ගොනුකර ඇති (ඇපෑල) අභියාචනයයි.

ඇතුල්කෝට්‌ටේ 09 පටුමග 60/3 ඒ පදිංචි අතුල චන්ද්‍රගුප්ත තේනුවර, අනුරාධපුර පෙරියම්කුලම පදිංචි ජනක අධිකාරී, බත්තරමුල්ල සුභූතිපුර එම්. ජයසිංහ සහ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු මූලික අයිතිවාසිකම්වල පෙත්සම්කරුවෝ වෙති.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ඇපෑල ගොනු කරනු ලැබුවේ සුමිත් හේවගේ නමැති නීතිඥවරයකු විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු කටයුත්තක්‌ විභාග කිරීම සඳහා 09 දෙනකුගෙන් යුත් විශේෂ විනිසුරු මඬුල්ලක්‌ රැස්‌වන්නේ සෑහෙන කාලයකට පසුවය.

එකම විෂයයක්‌ යටතට වැටෙන මෙම නඩු සියල්ල එකවිට විභාග කර තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.