එතනෝල් ආනයනය  තහනම් කරයි

ප්‍රභාත් විතාන

මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව 1969 අංක 01 දරන  ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවනු ලබන නියෝග මත පරිමාව අනුව මධ්‍යසාර සැර ප්‍රමාණයෙන් සියයට 80 ක හෝ ඊට වැඩි මධ්‍යසාර ප්‍රමාණයක්‌ ඇති ස්‌වභාවය වෙනස්‌ නොකළ ඊතයිල් මධ්‍යසාරය, කවර සැර ප්‍රමාණයකින් හෝ ස්‌වභාවය වෙනස්‌ කළ ඊතයිල් මධ්‍යසාරය හා අනෙකුත් ස්‌ප්‍රිතු වර්ග සහ සුරාබදු ආඥා පනත යටතේ පනවන ලද නීතිවලට අනුව ස්‌වභාවය වෙනස්‌ කළ ස්‌ප්‍රිතු ආනයනය තහනම් කර ඇත.

පසුගිය පෙබරවාරි මස 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක කර තිබෙන බව ආනයන හා අපනයන පාලක ඩී. එස්‌. පී. සේනාරත්න මහතා දිවයිනට පැවසීය.

මෙරට නිපදවන එතනෝල් සඳහා ඉල්ලුමක්‌ නොලැබීමත් නිසා මෙරට එතනෝල් නිෂ්පාදනයේ අතරික්‌තයක්‌ තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ පමණක්‌ එතනෝල් ලීටර් මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කර තිබෙන බව කී ඒ මහතා මෙම තහනමත් සමග විදේශයන් වෙත ඇදී ගිය අතිවිශාල මුදලක්‌ ඉතිරි වන බවද කීය.

එතනෝල් වැඩිවශයෙන් මධ්‍යසාර නිෂ්පාදනයට හා තවත් නිෂ්පාදන කීපයක්‌ සඳහා යොදා ගැනේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.