හොරොව්පොතානේ දරුවෙක්‌ සුනාමි යන්ත්‍රයට බිලි වේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ කහටගස්‌දිගිලිය - ජී. රාජරත්න

හොරොව්පොතාන, මුක්‌කරවැව ප්‍රදේශයේ කුඹුරකදී සුනාමි යන්ත්‍රයකින් ගොයම් කොළ මඬිමින් සිටි පහළොස්‌ හැවිරිදි දරුවකු තම හිසෙහි බැඳගෙන තිබූ තලප්පාවක්‌ එම යන්ත්‍රයේ පුලියක එතී ගෙල සිරවීමෙන් පෙරේදා (03 දා) දවල් මියගොස්‌ ඇත.

හොරොව්පොතාන, මුක්‌කරවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රුස්‌කින් නමැති දරුවා පෙරේදා (03 දා) දවල් 11.00 ට පමණ මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්‍ෂණ පවත්වන හොරොව්පොතාන පොලිසිය පවසයි.

මෙම මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණය අනුරාධපුර නැගෙනහිර කන්දරා කෝරළේ හදිසි මරණ පරීක්‍ෂක ටී. එම්. චන්ද්‍රසේකර මහතා විසින් රත්මල්ගහවැව රෝහලේදී පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය හොරොව්පොතාන රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියා විසින් පවත්වන ලදී.

අත්දිග කමිසයකින් හිසෙහි බැඳගෙන තිබූ තලප්පාව ගෙලෙහි එතී ගෙල සිරවී උගුර දණ්‌ඩ කැඩීම නිසාත් කශේරුකාව කැඩී සුෂුම්නාවට හානි සිදුවීම නිසාත් දරුවාගේ මරණය සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.