ජාතික රෝහලේ වෛද්‍යවරු
ඊයේ වර්ජනයක්‌ කළේ නෑ

වෛද්‍ය සංගමයේ සහකාර මාධ්‍ය ප්‍රකාශක

අජිත් අලහකෝන්

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට වෘත්තීය සමිතියක ආවරණයක්‌ නොමැති නිසා එහි සේවය කරන කිසිදු වෛද්‍යවරයකු= ඊයේ (04 දා) වැඩ වැරුමක නිරත වූයේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊයේ (05 දා) "දිවයින"ට පැවැසුවේය.

ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට වෘත්තීය සමිති ආවරණය නොලැබෙන්නේ එම රෝහලේ ක්‍රියාත්මක වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරීම නිසා බවද වෛද්‍ය හේරත් මහතා පැවැසුවේය.

වෛද්‍ය සේවයේ ගුණාත්මක බව දීපව්‍යාප්තව සමානාත්මකව බෙදී යායුතු බවද ඊට වාර්ෂික ස්‌ථාන මාරු වැදගත් වන බවද වෛද්‍ය හේරත් මහතා කීවේය.

කොළඹ ජාතික රෝහලට පමණක්‌ නොව දිවයිනේ සෑම පළාතකටම වෛද්‍ය සේවය සමානාත්මක ලෙස බෙදී යායුතු බව කී හෙතෙම වෘත්තීය සමිතියක්‌ වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිරතුරුව සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවද කීය.

කොළඹ ජාතික රෝහලේ වසර හතක්‌ තිස්‌සේ සේවය කරන වෛද්‍යවරුන් වාර්ෂික ස්‌ථාන මාරු ලබාගැනීමට මැලිකමක්‌ දක්‌වන බව කී වෛද්‍ය නලින් ද හේරත් මහතා සුවිශේෂි ලෙස සලකා තමන්ට තවදුරටත් ජාතික රෝහලේ රැඳී සිටීමට අවස්‌ථාව ලබාදෙන ලෙස එම වෛද්‍යවරුන් ඉල්ලා සිටින බව කීය.

එම ඉල්ලීමට ඉඩදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිසේත් හැකියාවක්‌ නැතැයිද වාර්ෂික ස්‌ථාන මාරු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවද පැවැසූ වෛද්‍ය හේරත් මහතා එකී වෛද්‍යවරුන්ගේ ස්‌ථාන මාරුව නිසා ජාතික රෝහලේ යම් ඒකකයක්‌ පවත්වාගෙන යැමේ අපහසුතාවක්‌ ඇත්නම් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගයද තම සංගමය තීරණය කළ බව පැවැසීය.

පළමුව කළ යුත්තේ එකී වෛද්‍යවරයා මාරුවීම් ලද නව සේවා ස්‌ථානයට වාර්තා කිරීම බවත් ඉන්පසුq අවශ්‍ය නම් ජාතික රෝහලේ ඒ වෙනුවෙන් අලුත් කෙනෙකු පත්වන තුරු අදාළ ඒකකයට එම වෛද්‍යවරයා තාවකාලිකව අනුයුක්‌ත කළ හැකි බවද වෛද්‍ය හේරත් මහතා පැවැසුවේය.

මෙම වාර්ෂික ස්‌ථාන මාරුවට එරෙහිව විරෝධය පළකරන්නේ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් බවද ඊට හේතුව ඔවුන්ටද මෙම ස්‌ථාන මාරු ලැබී තිබීම යෑයිද වෛද්‍ය හේරත් මහතා පැවැසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරීම නිසා එකී රෝහලේ වෛද්‍යවරුන්ට වෘත්තීය සමිති ආවරණයක්‌ නැතැයිද ඒ අනුව ඔවුන්ට වැඩනොකර වර්ජනය කිරීමට හැකියාවක්‌ නැතැයිද කී වෛද්‍ය හේරත් මහතා යම් හෙයකින් ඔවුන් වැඩවර්ජනයක නියෑලුණොත් එය රාජකාරිය පැහැර හැරීමක්‌ වන බවද පැවැසුවේය.

මේ පිළිබඳව බියට පත්වූ ජාතික රෝහලේ වෛද්‍යවරුන් කිසිවෙකු ඊයේ වැඩවර්ජනයක්‌ නොකළ බව කී හෙතෙම තමන් වැඩවර්ජනයක්‌ නොකරන බව එකී වෛද්‍යවරුම මාධ්‍යවලට පවසා තිබූ බවද පැවැසුවේය.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි සංගමය යළි සක්‍රීය කරන්නේ අදාළ ස්‌ථාන මාරුවීම් ක්‍රියාත්මක වූ පසුව බව කී වෛද්‍ය හේරත් මහතා ඒ අනුව මාසයක්‌ දෙකක්‌ ඇතුළත කොළඹ ජාතික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාවට අලුතින් නිලධාරීන් පත්කරන බවද කීය.

එතෙක්‌ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තම ගැටලුවලට විසඳුම් මව් සංගමය මගින් ලබාගත හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.