කේරළ ගංජා කිලෝ 10 ක්‌ සමග
ගුවන් මගියා රේගු දැලේ


ප්‍රභාත් විතාන, ප්‍රසාද් කුමාරණසිංහ - ගුවන්තොටුපළ

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ පමණ වටිනා කේරළ ගංජා කිලෝ 10 ක්‌ රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (04 දා) අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම ගුවන් මගියාගේ ගමන් මල්ලේ ග්‍රෑම් 500 ගංජා පැකට්‌ 20 ක්‌ තිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා දිවයිනට පැවසීය.

සැකකරු, තම ගමන් මල්ලේ ප්ලාස්‌ටික්‌ රන් ආභරණ තිබෙන බව රේගු නිලධාරීන්ට පවසා ඇති අතර රන් ආභරණවලට යටින් කළු පොලිතින් කොළවල ඔතා මෙම ගංජා ගෙනවිත් තිබූ බවද ලෙස්‌ලි ගාමිණී මහතා කීය.

මෙම පුද්ගලයා නිතර නිතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර භාණ්‌ඩ රැගෙන යැම් ඊම් කරන පුද්ගලයකු බවද රේගු පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.

නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර රේගු අධිකාරිවරුන් වන එච්. එන්. විඡේතුංග, එල්. කේ. ජී. ගුණවර්ධන යන නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළහ. රේගු අධ්‍යක්‍ෂවරුන් වන කේ. ප්‍රේමනාත්, සරත් නෝනිස්‌ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණවලින් පසු සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.