ප්‍රභාකරන්ගේ පුතාගේ ඝාතන චෝදනාව  ප්‍රතික්‌ෂේප කරනවා
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

කොටි නායක ප්‍රභාකරන්ගේ පුතු බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කළ බවට එල්ල කෙරෙන චෝදනාව තමා නිල වශයෙන් ප්‍රතික්‌ෂේප කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පැවැසීය.

ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඉලක්‌ක කරගෙන දෙමළ ඩයස්‌පෝරාව සහ එල්. ටී. ටී. ඊ. හිතවාදී ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයට සහ ආරක්‌ෂක හමුදාවට එරෙහිව මෙවන් පදනම් විරහිත චෝදනා එල්ල කළ අතර ප්‍රභාකරන්ගේ පුතු සම්බන්ධව මෙවර ඉදිරිපත් කර ඇති චෝදනාවද මෙවැනි අසත්‍ය චෝදනාවක්‌ යෑයි හෙතෙම පැවැසීය.

යුද්ධය අවසන් වී වසර හතරක්‌ ගතවීමට ආසන්නව ඇතත් මෙතෙක්‌ මෙවැනි චෝදනාවක්‌ එල්ල නොකළ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්‌ පෝරාව මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජනාධිපතිවරයාට, ආරක්‌ෂක ලේකම්වරයාට ඇතුළු ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත්කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙස බවද සඳහන් කළ යුද හමුදාපතිවරයා එම චෝදනාව ඉතා වගකීමෙන් යුතුව තමා ප්‍රතික්‌ෂේප කරන බව ද අවධාරණය කළේය.

යුද හමුදාපතිවරයා මේ බව කීවේ කිලිනොච්චිය ආරක්‌ෂක සේනා මූලස්‌ථානයේ ඊයේ (04 දා) පැවැති උත්සවයකදීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.