මොරගල්ලේ වෙසෙන පින්ලන්ත ජාතිකයා කරන
අපචාර ගැන පියවරක්‌ ගන්නේ නැහැ


වසන්ත ලියනගේ

අලුත්ගම, කාලපලවත්ත, මොරගල්ල ප්‍රදේශයේ වෙසෙන පින්ලන්ත ජාතිකයකුගෙන් විවිධ අපචාර සිදුවන බවට වාර්තා වී ඇතත් ඔහු ගැන කිසිදු පියවරක්‌ ගෙන නැතැයි එම ප්‍රදේශවාසීහු පවසති.

මෙම පින්ලන්ත ජාතිකයා විසින් සිදුකරනු ලබන සමාජ විරෝධී අපචාර පිළිබඳව පොලිසිය, ළමා කාන්තා කාර්යාංශය, ආරක්‌ෂක අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇතැයිද ඔවුහු පවසති.

මෙම පින්ලන්ත ජාතිකයා දරුවන් විදේශ ගත කරන බව පවසමින් ඔවුන්ව රඳවාගෙන මතට ඇබ්බැහි කර අපචාර ක්‍රියාවලට යොදා ගන්නා බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මොරගල්ල ප්‍රදේශයේ සංචාරක ආයතනයක පිරිමි දරුවන් කිහිප දෙනකු මොහු විසින් රවටාගෙන අයුතු ලෙස රඳවා තබාගත් බවට මීට අවුරුදු කීපයකට උඩදී අලුත්ගම පොලිසියට පැමිණිල්ලක්‌ ද ඉදිරිපත්ව ඇත. මොහු ගැන පැමිණිලි ලැබීමෙන් අනතුරුව ආගමන විගමන දෙපාර්තවේන්තුවේ නිලධාරීන් පැමිණ ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට උත්සාහ කළත් එම අවස්‌ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පළාගොස්‌ සිටි බැව්ද ප්‍රදේශවාසීහු පවසති.

මෙම සිද්ධියෙන් පසුව ඔහු මාස කීපයක්‌ ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටියද නැවත පැමිණි ඇති හෙයින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.