සෝමරත්න දිසානායකගෙන්
අශෝක සේරසිංහට අභියෝගයක්‌

අජිත් අලහකෝන්

චිත්‍රපටයක්‌ මුදාහැරීමේදී පිටපත් ගණන තිස්‌පහකට සීමා කළ යුතු බවට ගෙන ඇති තීරණය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාට අභියෝග කර සිටී.

අපක්‍ෂපාතී මැදිහත්කරුවකු හෝ පිරිසක්‌ ඉදිරියේ ඕනෑම වේදිකාවක හෝ රූපවාහිනී නාලිකාවක මුහුණට මුහුණදී කෙරෙන සජීවි විවාදයකට එන්නැයි තමන් අශෝක සේරසිංහ මහතාට අභියෝග කරන බව දිසානායක මහතා "දිවයින"ට පැවැසුවේය.

චිත්‍රපටයක්‌ මුදා හැරීමේදී පිටපත් සීමාකරමින් සංස්‌ථාවේ සභාපතිවරයා නිකුත් කළ නියෝගය මගින් දේශීය සිනමාවට අයහපතක්‌ මිස යහපතක්‌ සිදු නොවන බවද ඉන් ඇති බහුතර සිනමා ප්‍රේක්‍ෂක ජනතාව රජය කෙරෙහි අප්‍රසාදය පල කරනු ඇතැයිද දිසානායක මහතා කීවේය.

මෙය රටටම බලපාන පොදු ප්‍රශ්නයක්‌ බවද මෙම මත ගැටුම මෙකී කරුණට පමණක්‌ සීමා කරගන්නා ලෙසත්, හිතවත් කම් පලුදු කර නොගන්නා ලෙසත් සහෝදර සිනමාකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කී සෝමරත්න දිසානායක මහතා ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරමින් තමන් විසින් අධිනීතිඥ අශෝක සේරසිංහ මහතාට කළ අභියෝගය පිළි නොගැනීම හෝ නොසලකා හැරීමත් කළොත් ඉන් හැඟෙන්නේ සේරසිංහ මහතා තම කරුණු පිළිගැනීම මෙන්ම එම කරුණු බිඳ හෙළීමට නොහැකිව මඟ හැරීමක්‌ යෑයිද ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.