O

 
 
 
 
 

 

මුලතිව්, වව්නියා සහ කිලිනොච්චියෙන්
මහා පරිමාණයෙන් ලැබෙන
උතුරේ කෘෂි නිෂ්පාදන රට පුරා බෙදාහැරෙනවා
ඇමැති බැසිල් රාජපක්‍ෂ ඇමරිකානු නියෝජිතවරියට කියයි

උතුර නැගෙනහිර  සංවර්ධනය ගැන  සතුටු විය හැකියි
ඇමරිකානු ආර්ථික සංවර්ධන ආයතනයේ පරිපාලක ඩෙනිස්‌ රෝලින්

ශ්‍යාම් නුවන් ගනේවත්ත

උතුරේ කෘෂි නිෂ්පාදන දැන් රට පුරාම ජනතාවට ලබා ගැනීමට හැකියාව ලැබී ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

උතුරු ප්‍රදේශයේ මේ වනවිට අල, බීට්‌, ලොකු ලූනු වැනි එළවළුද, මිදි, අඹ වැනි පලතුරු වර්ගයන් ද විශාල භූමි ප්‍රමාණයක වගාකර ඇති නිසා යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා ආදී දිස්‌ත්‍රික්‌කවලින් ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ලැබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා මේ බව කීවේ ඇමරිකා එක්‌සත් ජනපදයේ ආර්ථික සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහකාර පරිපාලක ඩෙනිස්‌ රෝලින් මහත්මිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී හමුවී කළ සාකච්ඡාවකදීය.

උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි රජය මගින් කඩිනමින් සංවර්ධන කටයුතු සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වන පානීය ජල පහසුකම්, විදුලිබලය, නිවාස ආදිය ලබාදෙන අතර එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස්‌ කරලීම සඳහා අවශ්‍ය කටයුතුද නිරන්තරයෙන් සිදුකරන බවය. එසේම විශාල කර්මාන්තශාලා එම ප්‍රදේශවල පිහිටුවීමට අවශ්‍ය පාරිසරික වටපිටාවද රජය විසින් ආයෝජකයන්ට ලබාදී තිබෙන නිසා ඇඟළුම් නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන ආදී වූ කර්මාන්තශාලා පිහිටුවා ඇති අතර එමගින් අදාළ ප්‍රදේශවල තරුණ තරුණියන්හට රැකී රක්‍ෂා අවස්‌ථාවන් ලැබී ඇති බවද උතුර නැගෙනහිර ප්‍රදේශවල කෘෂි කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් වන වාරි ජලය, පොහොර සහනාධාරය ආදිය ලබාදීම නිසා යාපනය, වව්නියාව ඇතුළු ප්‍රදේශවල වී, මුං උඳු ආදී වූ ධාන්‍ය වර්ග වගාකර ඇති අතර යල සහ මහ දෙකන්නයෙන් ලැබෙන අස්‌වැන්න ලැබීමද මේ වනවිට ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඌව, මධ්‍යම සබරගමු ආදී වූ පළාත් වලද සංවර්ධන කටයුතු කඩිනමින් සිදුවන අතර එහි ප්‍රතිඵල මේ වනවිට ජනතාව බුක්‌තිවිඳිමින් සිටිනවා. තවද කෘෂි කාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයක්‌ තිබෙන බැවින් වාර්ෂිකව ලැබෙන කෘෂි අස්‌වැන්නද මේ අනුව ලංකාව පුරාම වර්ධනය වී ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ධීවර අංශයේ දියුණුව නිසාත් ලැබෙන මත්ස්‍ය අස්‌වැන්න වාර්ෂිකව වර්ධනය වන අතරම රටට අවශ්‍ය පෝෂණයද මෙමගින් බොහෝ විට පිරිමසා ගත හැකිවන බවද කියා සිටියේය.

උතුර නැගෙනහිර ප්‍රදේශවල ආයෝජන කටයුතු කරන ආයෝජකයන් හට බදු සහන පහසුකම්ද රජය විසින් සපයා තිබෙන නිසා වර්තමානයේදී එම ප්‍රදේශවල සංවර්ධනය විශාල වශයෙන් සිදු වෙන බව පෙන්වා දුන් බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ආයෝජන ප්‍රතිපත්තිවල ඇති නම්‍යශීලි ප්‍රවනතාව නිසා අද වනවිට විදේශීය හා දේශීය ආයෝජකයන්ද රජය මගින් ලබා දෙන අවු( 99 බදු ඉඩම්වල තම නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකර දේශීය වශයෙන් විශාල විදේශීය විනිමයක්‌ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

zzදිවි නැගුමZZ වැඩසටහන යටතේ මුළුÊදිවයිනේම ගෙවතු වගා වැඩසටහන් ආරම්භ කර ඇති අතර එළවළු හා පලතුරු මෙන්ම සත්ව නිෂ්පාදනයන්ද තම ගෙවත්තෙන්ම සපයා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් රජය මගින් සෑම ගෘහයකටම ලබාදී තිබෙන බවද උතුර නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු පිළිබඳ සතුටු විය හැකි බවද එසේම ආයෝජන අවස්‌ථාවන් එම ප්‍රදේශවල බදු සහන සහිතව ක්‍රියාත්මක වනවිට එම ප්‍රදේශවල ජනතාවට වැඩි වශයෙන් රැකියා අවස්‌ථාවන් සඳහා යොමු විය හැකි බවද ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන (ඹීAෂD) ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහකාර පරිපාලක ඩෙනිස්‌ රෝලින් මහත්මිය මෙහිදී පැවසුවාය.

වර්තමානයේ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් පෙන්වා ඇති ශීඝ්‍ර සංවර්ධනය ඉතා හොඳ බැවින් උතුර නැගෙනහිර පළාත් විදේශිකයන් අතර වඩාත් අවධානයට ලක්‌විය හැකි අතර ස්‌වභාවික දර්ශන මෙන්ම වෙරළ තීරයේ ආකර්ශනයත් ඉන් ප්‍රමුඛ වන බවද ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරයන්හි ඇති ප්‍රබලතාවයත් මෙම සංචාරක කර්මාන්තය දියුණුවට බලපා ඇති බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවට ඇමරිකානු නියෝජ්‍ය තානාපති එක්‌සත් ජනපද ආධාර වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජේම්ස්‌ බෙඩ්නර්, වැඩසටහන් අධ්‍යක්‍ෂ කේට්‌ වෙබර්, ව්‍යාපෘති නිලධාරි කායි බීඩ්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩී. සිරිවර්ධන, ඊ. ආර්. ඩී. අධ්‍යක්‍ෂ ජනරාල් මාපා පතිරණ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.