මාතර - කතරගම දුම්රිය මාර්ගය වෙනුවෙන්
චීනයෙන් ඩොලර් මිලියන  278.2 ක ණයක්‌

අනුර බාලසූරිය

මාතර සිට කතරගම දක්‌වා ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඩොලර් මිලියන 278.2 ක සහනදායි ණය මුදලක්‌ ලාබදීමට චීන රජය එකඟත්වය පළකර තිබේ.

මෙම මුදල එරට ආනයන අපනයන බැංකුව හරහා වසරකට සියයට 2 ක පොලී අනුපාතයක්‌ යටතේ වසර 5 ක සහන කාලයක්‌ සහිතව වසර 20 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබාදෙන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදියර තුනකින් නිම කිරීමට නියමිත මෙහි පළමු අදියර යටතේ මාතර සිට බෙලිඅත්ත දක්‌වා කිලෝමීටර් 26.75 කොටස අයත්වන අතර දෙවැනි අදියර යටතේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්‌වාත් තුන්වැනි අදියරය යටතේ හම්බන්තොට සිට කතරගම දක්‌වාත් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

පළමු අදියරයට අයත් මාතර සිට බෙලිඅත්ත දක්‌වා කොටසට දුම්රිය ස්‌ථාන හතරක්‌ ඇතුළත් වේ.

හම්බන්තොට, වරාය, මත්තල ගුවන් තොටුපළ ඇතුළු දකුණු පළාතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සමග රටේ සෙසු පළාත් අතර ශීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට අනෙකුත් දුර ප්‍රදේශ අතර භාණ්‌ඩ හා මගී ප්‍රවාහනය කාර්යක්‍ෂම කිරීමට මෙම ව්‍යාපෘතිය විශාල පිටිවහලක්‌ වනු ඇති බව පැවසේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.