වත්මන් රජය යටතේ ගැටලු රැසක්‌ නිර්මාණය වෙලා
පීඩාවට සහ අසහනයට පත්ව ඇති
ජනතාවට ක්‍ෂණික විසඳුම් ඕනෑ
ගයන්ත කරුණාතිලක (එ.ජා.ප.)

නීතියේ ආධිපත්‍ය  දේශපාලනයට යට කරන්න එපා
මංජු ශ්‍රී අරංගල (එ.ජා.ප.)


අකිත පෙරේරා

දරුණු ලෙස පීඩාවට සහ අසහනයට පත්වී සිටින ජනතාවට වහාම රජය ක්‍ෂණික විසඳුම් ලබාදීමට ක්‍රියා කළ යුතු යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක, ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

රාජගිරියේ පිහිටි වතු සමාගම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

වර්තමාන ආණ්‌ඩුව අපේ රට තුළ ආර්ථික, සමාජයීය ගැටලු රැසක්‌ නිර්මාණය කර තිබෙනවා. මේ රටේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ මුදල් ඇමැතිවරයා විවිධ ඇමැතිවරු මුදල් අමාත්‍යංශ ලේකම් මහ බැංකුවේ අධිපති පසුගිය දවස්‌වල පුනපුනා පම්පෝරි ගැහැව්වා, ඒත් දැන් වෙනකොට ඒ ආර්ථිකයේ තරම හොඳට බලාගන්න පුළුවන්.

ඒ කොහොමද දැන් ටී. වී. එකෙන් පත්තරවලින් අපිට අහන්න දකින්න ලැබෙනවා සතියකට එක පවුලක්‌වත් සියදිවි නසාගන්න තත්ත්වයට පැමිණ තිබෙන බව. අද රටේ සාතිශය බහුතර ජනතාවක්‌ දරිද්‍රතාවයේ අඩියටම වැටිලා. බුලත් කොළයට ඡන්දය දීපු අයත් දැන් කියන්න පටන් අරගෙන ජීවත් වෙන්න හරි අමාරුයි කියලා.

පාරවල්, පාලම් හැදුවාට දැන් ජනතාව තේරුම් අරගෙන සිටින්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලින් තමන්ගේ බඩ, කට පිරෙන්නේ නැහැ කියලා. රජයේ ව්‍යාපෘතිවලින් වෙනත් අයගේ බඩ, කට සාක්‌කු පිරෙනවා කියලා ජනතාව දැන් හොඳ හැටි තේරුම් අරගෙන ඉන්නේ.

එදා එක්‌සත් ජාතික පක්‍ෂ රජය කාලේ කළ ව්‍යාපෘති නිසා ඒවායේ ප්‍රතිලාභ ජනතාව තවමත් බුක්‌තිවිඳිනවා. ආසියාවේ ආශ්චර්ය, සුබ අනාගතයක්‌ වැනි ලස්‌සන වචන ටිකක්‌ ඉස්‌සරහට දාගෙන සුරංගනා ලෝකයක්‌ මේ ආණ්‌ඩුව ජනතාවට මවා පෙන්නනවා.

මේ ආණ්‌ඩුව ඇතුලේ සිටින අය දාන කකුල් මාට්‌ටු දැන් දැන් එළියට එනවා. ඔය එළියට එන්නේ ආණ්‌ඩුව මෙතෙක්‌ කලක්‌ වපුරපු ඒවායේ ප්‍රතිඵල. ආණ්‌ඩුව දැන් ඒවායේ අස්‌වැන්න නෙළමින් යනවා. මේ ආණ්‌ඩුව පසුගිය කාලයේ දේශපාලන පක්‍ෂ කඩලාදාන්න ක්‍රියාකළා. දේශපාලන චරිතවලට මඩ ගැහුවා. දේශපාලන චරිත ඝාතනය කළා. දැන් ඒවාට මේ ආණ්‌ඩුවට දිට්‌ටධම්මවේදනීය කර්මයට මුහුණදෙන්න සිද්ධවෙලා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්ගේ දුක හිතෙන බරපතළ ප්‍රකාශය දිහා බැලුවහම මේ ගැන පේනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්, මේ රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක්‌, පරිණත දේශපාලනඥයෙක්‌, චන්ද්‍රිකා ජනපතිනියගේ කාලයේදී තමන්ට ලැබෙන්න තිබුණු අගමැතිකම පූජා කරපු වෙස්‌සන්තර චරිතයක්‌, ඔහු විසින් මාධ්‍ය හමුවේ කරන ලද එම ප්‍රකාශය සුළුකොට තකන්න බැහැ.

බැරිවෙලාවත් විපක්‍ෂයේ දේශපාලනඥයෙක්‌, මාධ්‍යවේදියෙක්‌ හෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක්‌ මෙහෙම ප්‍රකාශයක්‌ කළා නම් රාජ්‍ය මාධ්‍යය යොදාගෙන පතුරුගහන්න පටන් අරගෙන. හැබැයි දැන් සද්දයක්‌ නෑ. එහෙම වුණානම් විමල් වීරවංශ ඇමැතිවරයා හැමදාමත් වගේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරනවා කියලා කියන්න ගනීවි. ඒත් විමල් වීරවංශ මෛත්‍රිගේ ප්‍රකාශය ගැන වචනයක්‌වත් කියන්නේ නැහැ.

කොහොම වුණත් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන අපි අවධානය යොමු කළ යුතුයි. දේශපාලන වශයෙන් අපි වෙනස්‌ මතවල සිටියත් ඔහුගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මෛත්‍රිගේ මෙම ප්‍රකාශය ගැන රජය තම ස්‌ථාවරය ගැන කියන්න ඕනෑ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල තනතුරු අද පවුල අතරෙම බෙදාගන්න තත්ත්වයක්‌ ඇතිවෙලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් ධුරයටත් තට්‌ටුවෙයිද කියලාත් අපිට දැන් හිතන්න වෙලා. මේවා දිහා බැලුවහම වෙන්න තියෙන්නේ දැන් ආණ්‌ඩුව ඇතුළේ සීතල නොවෙයි මාර යුද්ධයක්‌ ඇතිවෙලා කියලා. ඒක පක්‍ෂයට විතරක්‌ නෙමෙයි මේ රට තුළත් ඇතිවෙලා තිබෙනවා දැන්.

ඉන්ධන මිල ඉහළ යැම නිසා සමස්‌ත පොදු ප්‍රවාහන සේවයේම දරුණු අර්බුදයක්‌ ඇතිවෙලා තිබෙනවා. බස්‌ ගාස්‌තු, ත්‍රීවීල්, පාසල් වෑන් රථ ආදියේ ගාස්‌තු දැන් ඉහළ ගිහින් සහ ඉහළ යැමට තිබෙනවා.

අසහනයට අසීරුතාවට පත්ව සිටින ජනතාව ගොඩගැනීමට ආණ්‌ඩුව ක්‍ෂණික පියවර ගත යුතුව තිබෙනවා.

බස්‌නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා - අද මේ රට තුළ නීsතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ පිළිබඳව ඊයේ ඇමැතිවරු විසින් ප්‍රකාශ කරන්න පටන් අරගෙන. නීතියේ ආධිපත්‍යය දේශපාලනයට යටකරන්න එපා කියලා අපි ඉල්ලනවා. මේ වෙනකොට රටට කීර්තියක්‌ ගෙනආ ක්‍රීඩාවත් අර්බුදයකට ලක්‌ කර තිබෙනවා මේ ආණ්‌ඩුව.

මෙහෙම ගියොත් මේ සන්ධාන ආණ්‌ඩුව මුළු රටම වළදමන තත්ත්වයකට පත්කරාවි. ජනතාවට සහන දෙනවා වෙනුවට මේ ආණ්‌ඩුව කරන්නේ ජනතාවගේ ඇස්‌ පිනවීම පමණයි. දැන් බාබර්සාප්පුවේ ඉන්න ඕන අය ටේලර් සාප්පුවට ගිහින්, ටේලර් සාප්පුවේ ඉන්න ඕන අය බාබර් සාප්පුවට ගිහින් වගේ තමයි මේ ආණ්‌ඩුවෙත් වැඩ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.