ජනතාව උපයන සෑම රු. 100 කින්ම
රු. 62 ක්‌ බදු වශයෙන් අයකර ගන්නවා

සජිත් ප්‍රෙAමදාස (එ.ජා.ප.)

ජනතාව උපයන සෑම රුපියල් 100 කින්ම රුපියල් 62 ක්‌ ආණ්‌ඩුව විසින් බදු වශයෙන් ආපසු අයකර ගන්නා බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගංවතුරින් විපතට පත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌සමහාරාම ආසනයේ ප්‍රදේශ කිහිපයක "සහන යාත්‍රා"වැඩසටහන යටතේ සහල් පරිත්‍යාග කිරීමේ අවස්‌ථාවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

රටක පාලකයන් කැප වී සිටින්නේ ජනතාවගේ ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒවාට විසඳුම් දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කරන්නටයි. ඒ වගකීමෙන් කිසිම පාලකයකුට අත්මිදිය නොහැකියි. ජනතාවට සේවය කිරීම පාලකයන්ගේ පරම යුතුකම වනවා පමණක්‌ නොව එය ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එක විය යුතුයි. ඒත් අවාසනාවකට මෙන් අපේ රටේ වර්තමාන පාලකයන් කටයුතු කරන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි පිළිවෙතකට අනුවයි. ඔවුන් ප්‍රමුඛතාව ලබාදෙන්නේ තම තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය වැඩිදියුණු කර ගැනීමටයි. යහමින් මුදල් හරි හම්බ කර ගෙන සමාජයේ ඉහළ තලයේ වැජඹීමටයි. කාලය ඉතුරු වුණොත් පමණයි මේ පුද්ගලයන්ට ජනතා සේවය සිහිපත් වන්නේ. මේ තත්ත්වය නිසා මේ පුද්ගලයන් තෝරා පත් කර යෑවූ ජනතාව අන්ත අසරණ භාවයට පත් වී සිටිනවා. මේ ජනතාව අද තමන්ගේ දුක කියා ගන්නට කෙනෙකු නැති වී තිබෙනවා.

අද සමාජයේ හැම ක්‍ෂේත්‍රයක්‌ම කඩා වැටෙමින් පවතිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, ගමනා ගමනය රැකී රක්‌ෂා, නිවාස, කෘෂිකර්මාන්තය, වෙළෙ¹ම ආදී වශයෙන් හැම තැනකම පවතින්නේ කඩා වැටීමයි.ජනතාව උපයන සෑම රුපියල් 100 කින්ම රුපියල් 62 ක්‌ ආණ්‌ඩුව බදු හැටියට ආපසු උදුරා ගන්නවා. ජනතාව බදුබරින් මිරිකී සිටිනවා. පාලකයන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ සම්පත් කොල්ලකමින් රිසි සේ කටයුතු කරන අතර ජනතාව නිරාහාරව බලා සිටිනවා. වරප්‍රසාද ලත් පංතියේ දරුවන්ට ඔවුන්ගේ විනෝදය පිණිස ලැම්බෝගිනි වසන්තයක්‌ උරුම වෙද්දී දුප්පත් පංතියේ ජනතාවට බඩගින්න උරුම වී තිබෙනවා.

පාලකයන් කියන්නේ තමන් මේ රටේ කවරදාකවත් නොවූ විරූ සංවර්ධනයක්‌ කරන බවයි. ජනතාව බඩගින්නේ තබා කරන සංවර්ධනයකින් ඵලක්‌ නැති බව එදා ප්‍රෙAමදාස ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. සිය දිගුකාලීන දේශපාලන ගමනේ උච්ඡස්‌ථානයට එනම් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව හෝ සිය ජනතා කාර්යභාරය අංශූ මාත්‍රයකින්වත් අඩු කළේ නැහැ. ජන ජීවිතය සුත මුදිත කිරීමට හැම මොහොතකම කල්පනා කළා. ඒ වෙනුවෙන් කැප වුණා. ඒ කාලය ගැන කල්පනා කර බලද්දී මේ රටේ ජනතාව අද කොතරම් අවාසනාවන්ත අඩියකට වැටී ඇත්දැයි ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි. එදා පාලකයන්ගේ න්‍යාය පත්‍රයේ මුල් තැන හිමි වුණේ නැති බැරි අය ඇති හැකි අය කිරීමටයි. අද එය සහමුලින්ම කණපිට හැරී තිබෙනවා. වත්මන් පාලකයන් ජනතාව අමතක කර තමන්ගේ බඩගෝස්‌තරය තර කර ගැනීමට කැපවී සිටිනවා.

පාලකයන්ගේ නාඩගමේ දැන් පවතින්නේ අගමැති පොරය නමැති ජවනිකාවයි. අද රටේ අවධානය යොමු වන ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එයයි. එය මේ වන විට බලු පොරයක්‌ බවට පත්වී අවසානයි. මේ පොරයට එකතු වී සිටින කණ්‌ඩායමේ හැම කෙනෙකුගේම උත්සාහය වන්නේ තාන්න මාන්න පට්‌ටම් ඒකරාශි කරගෙන තවදුරටත් යෙහෙන් වැජඹීමයි.

ජනතා සුබසාධනය තහවුරු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩු අතීතයේදී කළ මෙහෙවර නැවත නැවතත් සිහිපත් කිරීමට ජනතාව අද පෙළඹී සිටිනවා. අද අප ආණ්‌ඩු බලය නැතිවත් අපට හැකි උපරිම මට්‌ටමින් ඒ කාර්යභාරය ඉටු කරමින් සිටිනවා. කොතරම් බාධා පැමිණියත් අපේ ආත්මය හා බැඳුණු ඒ සංසාර පුරුද්ද නම් අත් හැරීමට හැකියාවක්‌ නැහැ. ජනතාව දුකට පත්ව සිටින විට ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න අමතක කර දමා කරන දේශපාලනයකින් අත්වන සුගතියක්‌ නැහැ. එසේ කරන පුද්ගලයන්ට සාප කිරීමට ජනතාව පෙළඹෙනවා නියතයි.

අනාගතයේ දී නැවතත් සුබසාධනයෙන් පිරි ශ්‍රී ලංකාවක්‌ ජනතාවට උරුම කර දීම අපේ අරමුණයි. මේ රටේ වරප්‍රසාද අහිමි බහුතර ජනතාවට කරදරයකින් තොරව තුන් වේල පිරිමසා ගත හැකි ඔවුන්ට දෙවන තුන්වන පංතියේ සැලකිල්ලක්‌ උරුම නොවන අභිමානවත් ශ්‍රී ලංකාව උදා කර ගැනීමට අපි අත්වැල් බැඳ ගනිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.