හැදූ එකාටම ගිල්ලවිය යුතු හක්‌ක පටස්‌

"හක්‌ක පටස්‌" නමැති මාරාන්තික බෝම්බයක්‌ සපා කෑ ගැබ්බර ඇතින්නක්‌ හක්‌ක කුඩුවී උඩුතල්ල හිල්වී මොළයට බරපතළ හානිව තිබියදී වෙල්ගම්වෙහෙර පූජා භූමියට පැමිණ පැටවා ප්‍රසූත කළ පුවත සිකුරාදා (8 දා) දිවයිනේ මුල්පිටුවේ පළ විය. ඇතින්න "හක්‌ක පටස්‌" කෑවේ ඊට පෙර දවසේය. නිරා දුක්‌ විඳි ඇතින්න ඉකුත් සෙනසුරාදා මිය ගියාය. කටට සහ මොළයට වූ හානිය නිසා හටගත් කම්පනය සහ අධික ලෙස රුධිරය වහනය වීම ඇගේ මරණයට හේතු විය. ඇයට සියලු සත්කාර කරන ලද්දේත් දරු ප්‍රසූතියේදී උපකාර කරන ලද්දේත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්‍ෂක අංශ විසිනි. කුඩා ඇත් පැටවා අද ජීවත් වන්නේ සුප්පුවක්‌ සවි කළ බෝතලයකින් කිරි බීමෙනි. අපි මුලින්ම වෙල්ගම්වෙහෙර පූජා භූමිය භාර ගරුතර සංඝරත්නයටත් තුවාල ලත් ඇතින්නට සහ පැටවාට ඇප උපස්‌ථාන කළ යහපත් මනුෂ්‍යයන්ටත් පින් දෙමු. ඇතින්නට මේ විපත කළ තුච්ඡ ගැමියන්ට හෝ දඩයක්‌කරුවන්ට වැහි තිබුණත් නැතත් නිසි දඬුවම අහසින් ලැබෙනවා ඇත. මේ ලෝකය තුළ තවමත් ස්‌වභාවධර්මයට තැනක්‌ තිබේ. පින් පව්වලටද තැනක්‌ තිබේ. අප සිත සනසා ගන්නේ ඒ බව මෙනෙහි කිරීමෙනි.

හක්‌ක පටස්‌ නමැති බෝම්බ වර්ගය හදන හැටි මිනිසුන් දැනගෙන තවමත් දස වසරක්‌වත් නැත. මෙය දඩයක්‌කරුවන් විසින් සතුන් මරා ගැනීමට බඳින තුවක්‌කුවල දෙවන පරම්පරාවය. බඳ නැති, බෙහෙත් කොටන තුවක්‌කු සතුන්ට ඇටවීම මරුවැල ලෙස හඳුන්වන ලදී. මෙය බෙහෙවින් අටවන ලද්දේ සතුන් එහා මෙහා යන මංකඩවලය. මරුවැල අටවා ගෙදර එන දඩයක්‌කාරයා දවසේ කොයි වෙලාවක හෝ වනය දෙසින් වෙඩි හඬක්‌ ඇසුණ විට එය පැමිණි දිසාව හිතින් ගණනය කරගෙන එය තමා විසින් බඳින ලද තුවක්‌කුවද නැද්ද යන්න තීන්දු කළේය. එයින් මියගිය සතා මස්‌කර රැගෙන එනු පිණිස වනයට යන සමහර විට තවත් දඩයක්‌කාරයකු බැඳි තුවක්‌කුවකට බිලිවී මළේය. මරු වැලක්‌ සකස්‌ කරන ක්‍රමයක්‌ තිබේ. දඩයම් කර ගැනීමට අපේක්‌ෂිත සත්ත්ව වර්ගය සහ එම සත්ත්ව වර්ගයේ කාය ශක්‌තිය අනුව මරුවැල සකස්‌ කෙරේ. මෙය පාරම්පරික දැනුමකි. ඒ ගැන වැඩි විස්‌තර කියා පාඨකයා දැනුවත් කිරීම වගකිව යුතු පුවත්පතක යුතුකම නොවේ.

හක්‌ක පටස්‌ යනු වෙසෙසින්ම වල් ඌරන් ඉලක්‌ක කරගෙන සාදන පහසු බෝම්බයකි. මේ සඳහා අවශ්‍ය වන්නේ පාන් භාගයක්‌ සහ තවත් දෙයක්‌ පමණි. ඌරා පාන් භාගය කෑ විට බිහිසුණු පිපිරීමක්‌ හටගෙන උගේ කට දෙකඩ වෙයි. මෙහි නමින්ම එහි පවුකාර නීච ස්‌වරූපය පැහැදිලි වේ. ඌරා බෝම්බය කෑ සැනින්ම නසී. එහෙත් අලියකු වැනි ලොකු සතකු මෙය කෑ විට එක්‌කෝ දින තුන හතරක්‌ දුක්‌ විඳ නසී. නැතහොත් සතියක්‌, දෙකක්‌ විඳවා නසී.

හක්‌ක පටස්‌ සාදන්නේ වල් ඌරන් බහුලව වෙසෙන කුඩා වනාන්තර, මුකලාන් අසල පිහිටි ගම්වල ජනයාය. ඒ හැර ත්‍රිකුණාමලයේ වෙල්ගම්වෙහෙරට කොළඹින් හෝ මහනුවරින් නැත්නම් ගාල්ලෙත් ගොස්‌ හක්‌ක පටස්‌ අටවන අය නැත. හක්‌ක පටස්‌ අටවන එකා මොකාද යන්න අර ගම්වල ගැමියෝ දනිති. යුද හමුදාවට හා පොලිසියට කිරීමට ඇත්තේ හරියාකාර ඔත්තුව ලබාගෙන සැකකරුවන් අල්ලා බුරියානි සහ µලුඩා ලබාදී ප්‍රශ්න කිරීමය. මේ ආකාරයෙන් ගමක තුන් හතර දෙනකුට බුරියානි කැවූ විට ඒ පළාතේ හක්‌ක පටස්‌ ඇටවීම පාලනය කරගත හැකිවනවා ඇත. සිංහල රජකාලයේ නම් හක්‌ක පටස්‌ එක එය හැදූ එකාටම ගිල්ලවනවා ඇත.

මෙය වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කළ හැකි නොවේ. ඔවුන් අත ඇති තුවක්‌කු පත්තු කිරීමට ආණ්‌ඩුවෙන් ඕඩර් කඩදාසියක්‌ ලබාගත යුතුය. තබන ලද වෙඩිල්ලක්‌ නිසා වැරැදීමකින් හෝ හක්‌ක පටස්‌කාරයා මළොත් වනජීවි නිලධාරියාට කූඩුවට යන්නට සිදු වේ. ඒ බැවින් මෙය මැඬ පැවැත්විය හැක්‌කේ ආරක්‌ෂක අංශවලටය. පසුගිය මාස කිහිපය තුළ හක්‌කපටස්‌ නිසා මළ අලි ගණන 10 කට වැඩිය. මේ රටේ ඉතිරිව සිටින වල් අලි ටික නැති කිරීමට හක්‌ක පටස්‌වලට පමණක්‌ වුව පිළිවන.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.