සංචාරක ව්‍යාපාරයට කැසිනෝ !

මෙය සුරාව හා සූදුව ගැන වැඩියෙන් කතාබහ කරන කාලයකි. රජය 'මතට තිත' යෑයි කීවද මත්වතුර නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් නීති විරෝධීව කන්ටේනර් පිටින් මෙරටට ගෙන්වයි. පසුගියදා එසේ ගෙන්වූ කන්ටේනර් දෙකක්‌ හසුවීම නිසා සුරාව ගැන අපි බොහෝ කතා කළෙමු. එම එතනෝල් තොගයේ සැබෑ හිමිකරුවන් රටට එළිවීම වැළැක්‌වීම සඳහා තිබෙන බලවත් උත්සාහයන්ද කාටත් රහසක්‌ නොවේ.එසේම මතටම ඇතුළත් වන දුම්පානය ගැනත් පසුගිය දිනවල අපට බොහෝ කතා කිරීමට සිදු වුයේ සිගරට්‌ පැකට්‌ටුවෙන් සියයට 80 ක්‌ ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනා නීතියට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නිසාය. මේ නීතිය අප ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ 2005 වසරේදීය. එහෙත් ලෝකයේ 'මතට තිත' ප්‍රතිපත්තිය තිබෙන එකම රට වන ශ්‍රී ලංකාවේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමට දැන් වසර පහක්‌ ප්‍රමාද වී තිබේ. මෙසේ සුරාවට අමතරව මේ දිනවල සූදුව ගැන ද කතා කරන්නේ ෙ-ම්ස්‌ පැකර්ගේ මෙරට ආගමනය නිසාය. ඔහු ලෝකයේ ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකි. මේ 'කැසිනෝ රජා' ලංකාවට ආවේ කුමකටද? ඔහුගේ අරමුණ කුමක්‌ද? මේ පිළිබඳව මාධ්‍ය මගින් සාකච්ඡා කිරීමත් සමග මේ වනවිට කැසිනෝ සූදුවට එරෙහිව ප්‍රබල මහජන මතයක්‌ ද ගොඩනැගෙමින් තිබේ.

කැසිනෝ සූදුව ගැන කතා කිරීමට පෙර අපි පොදුවේ සූදුව (Gambling) පිළිබඳව හඳුනා ගනිමු. සූදුව යෑයි එළිපිටම පෙනෙන දේ මෙන්ම එසේ එළිපිටම නොපෙනෙන පිරමීඩ සූදු ව්‍යාපාර ද අප රටේ ක්‍රියාත්මක වෙමින් තිබේ. සූදුවකදී සිදුවන්නේ අවිනිශ්චිත වාසියක්‌ (දිනුමක්‌) අපේක්‍ෂාවෙන් ඔට්‌ටු ඇල්ලීමකි. මේ අපේක්‍ෂා කරන වාසිය හෝ දිනුම කිසිවිටෙකත් නිශ්චිත එකක්‌ නොවේ. සූදුවේදී ජයග්‍රාහකයෙක්‌ (Winner) සහ පරාජිතයෙක්‌ (loser) සිටී. බූරුවා ගැසීම වැනි සූදුවලදී එක්‌ අයෙක්‌ දිනන විට තවත් අයෙක්‌ පරදියි. එහිදී සිදුවන්නේ එක්‌ අයෙකු (පරාජිතයා) සතුව තිබූ මුදල් තවත් අයෙකු (ජයග්‍රාහකයා) අතට මාරු වීමයි. පිට පිට වාර තුනකට වැඩියෙන් දිනන විට බූරුපොළ කරවන තැනැත්තාට ද ගානක්‌ දිය යුතුය. එය හඳුන්වන්නේ "තෝම" ලෙසය. බූරුවා ගැසීමේදී පමණක්‌ නොව කිසිම සූදුවකදී එක දිගටම දිනන්නට පුළුවන් කමක්‌ නැත. එක්‌ වතාවක දිනන මුදල් තවත් වතාවක පරදියි. ඒ නිසා අවසාන විග්‍රහයේදී සූදු කෙළීමෙන් සිදු වන්නේ පරාජයක්‌ ම පමණි. එහෙත් සූදුවෙන් දිනන අයෙක්‌ ද සිටී. ගමේ ගොඩේ බූරුපිsටිවලදී නම් ඔහු ඒ බූරුපිටිය කරවන පුද්ගලයාය. කවුරු දිනුවත් පැරදුනත් ඔහුට ගාන (තෝම) ලැබේ. ඡේම්ස්‌ පැකර් ද මෙවැන්නෙකි. කැසිනෝ ගැසීමෙන් දිනන අය මෙන්ම පරදින අය සිටියත් ඇත්ත කතාව නම් වරක දිනන අය ඒ මුදල් තවත් වරෙක පරදින බවයි. වරෙක නොව වාර ගණනාවකදී පරදින බවයි. එහෙත් කැසිනෝ සූදුවෙන් හැමදාම දිනන්නේ කවුද? කැසිනෝ සූදු කෙළින අය නොව ඡේම්ස්‌ පැකර් වැනි සූදු ව්‍යාපාර කරවන පුද්ගලයන්ය.

සූදුවේදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්‌ද? එහිදී අලුත් ධනය නිෂ්පාදනය වීමක්‌ සිදු වෙනවාද? මෙහිදී යම් අයකු හෝ අය (පරාජිතයන්) සතු මුදල් තවත් අයකුට හෝ අයට (ජයග්‍රාහකයන්ට) මාරුවීමක්‌ සිදුවනවා මිස කිසිවිටෙකත් අලුත් ධනයක්‌ උත්පාදනය නොවේ. සූදු කෙළියේදී ජයග්‍රාහකයන් සහ පරාජිතයන් බිහිවෙමින් ඔවුන් සතු ධනය හුවමාරු වෙනවා මිස අලුතින් ධනය ඉපිදවීමක්‌ වන්නේ නැත. ඒ නිසා සූදුවෙන්, සූදු ව්‍යාපාර හිමිකරුවන්ට මිස රටකට හෝ ජනතාවට වන සෙතක්‌ නැත. එහෙත් විදෙස්‌ සංචාරකයන් උදෙසා කැසිනෝ ව්‍යාපාර පටන් ගැනීම තුළින් රටකට ආර්ථික ප්‍රතිලාභ උදා කර ගත හැකි බවට ද ඇතැම් විද්වතුන් මත පළ කරයි. ඒ නිසා මෙහිදී ඒ ගැන ද අපගේ අවධානය යොමු කිරීම වැදගත්ය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධන උපායමාර්ග (2011- 2016) නම් වූ පොතේ සංචාරක ක්‍ෂේත්‍රයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා යටිතල පහසුකම් නැංවීම යටතේ සඳහන් කර ඇති හතරවැනි කරුණ මෙසේය.

"සංචාරක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ විවිධතම ව්‍යාපෘති හඳුනා ගැනීමත් සමස්‌ත සංචාරක ක්‍ෂේත්‍රයේ වර්ධනය සඳහා සහාය ලබාදීමත් සිදු කෙරේ."

මේ සඳහා ඵලදායී ආයෝජකයන් හට නොයෙකුත් ආයෝජන අවස්‌ථා සඳහා අවධානය යොමු කරන්නට යෑයි කියමින් දක්‌වා ඇති කරුණු රාශියක්‌ අතර ඇති එක්‌ කරුණක්‌ වන්නේ "විශේෂ කලාපවලට සීමා වන විනෝද මධ්‍යස්‌ථාන" යන්නයි. මේ කියන විනෝද මධ්‍යස්‌ථාන මොනවාද? කැසිනෝහල්ද, විදේශිකයන්ට ගණිකාවන්ගේ සේවය සපයන ස්‌ථානද? නැතහොත් කැසිනෝ, ගණිකා ව්‍යාපාරය සහ සුරාව ඇතුළු තවත් නොයෙකුත් විනෝදාස්‌වාදයන්a විදේශිකයන්ට ලබාදෙන ස්‌ථාන ද? මේ කියන විනෝද මධ්‍යස්‌ථානවලට යා හැක්‌කේ විදේශිකයන්ට පමණද? දේශීය අයට මේවාට ඇතුළු වීමට අවසර නැද්ද? මේවා ගැන තවමත් අප හරියටම දන්නේ නැත. ඒ ගැන රජය තවමත් පැහැදිලි කිරීමක්‌ ද සිදු කර නැත. කවරක්‌ නමුත් කැසිනෝ ව්‍යාපාරය සමග ගණිකා ව්‍යාපාරය ද අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නකි. සුරාවද එසේමය. එබැවින් කැසිනෝ ව්‍යාපාරය නිසා අහිතකර සමාජ බලපෑම් රැසක්‌ ඇතිවන බව රහසක්‌ නොවේ. කැසිනෝ ශාලා සහ ගණිකා ව්‍යාපාරය දැනටමත් රට තුළ නැතුවා නොවේ. මේ වනවිටත් කැසිනෝ සමාජශාලා රැසක්‌ කොළඹ නගරය තුළ ක්‍රියාත්මකව තිබේ. ඒවායෙහි ද 'විදේශිකයන්ට පමණි' යනුවෙන් සඳහන් පුවරු සවිකර තිබේ. එසේ වුවත් මේවාට තෝරාගත් ඉහළ පෙළේ දේශීය පුද්ගලයන්ට ද රිංගා සූදු කෙලීමට ඉඩ හසර සැලසී ඇති බව ද රහසක්‌ නොවේ. ඉගැන්වීමටම උපන් සක්‌විති රණසිංහ ද මහජනයාගෙන් රැස්‌කරගත් තැන්පතු මුදල් කැසිනෝ සූදුවට පූජා කළ බව ප්‍රකට කරුණකි. ඉහළ පොලී මුදලක්‌ අපේක්‍ෂාවෙන් ඇතැම් අහිංසකයන් තැන්පත් කළ මුදල්වලින්ද සක්‌විති කළේ සූදු කෙළීමය. ඒ නිසා සක්‌විති ළඟ මුදල් තැන්පත් කළ විශාල පිරිසකට අත් වූ ඉරණම කවුරුත් දනී. සංචාරක ව්‍යාපාරයට යෑයි කියා පටන් ගැනීමට ඉඩ දුන්නත් ඡේම්ස්‌ පැකර්ගේ කැසිනෝහල්වලට ද දේශීය පුද්ගලයන්ට රිංගා සූදු කෙළීමට ඉඩ නොදෙනු ඇතැයි සහතික දිය හැක්‌කේ කාටද? ඒ සියල්ල හොර රහසේ හරි හරියටම සිදුවනු ඇති බවට නම් සැකයක්‌ නැත.

ඇතැම් අර්ථ ශාස්‌ත්‍රඥයන් කියන්නේ විදෙස්‌ සංචාරකයන් පමණක්‌ ඉලක්‌ක කර ගනිමින් කැසිනෝ ව්‍යාපාර දියත් කිරීමෙන් ආර්ථිකයට ප්‍රතිලාභ අත්වන බවයි. කැසිනෝ ගහන්නට එන විදේශිකයන් ඉහළ ආදායම් ලබන්නන් බවද, ඔවුන් හරහා රටට විදෙස්‌ ආයෝජන ගලා එන බවද ඔවුහු පවසති. මේ කැසිනෝහල් දේශීය පුද්ගලයන්ට ප්‍රචලිත නොකළ යුතු බව ද දේශීය අයට ඒවාට සහභාගි විය නොහැකි වන පරිදි නීති පැනවීමෙන් මෙවැනි කැසිනෝ හල්වලින් ඇති වන අහිතකර සමාජ බලපෑම් අවම කරගෙන එහි වාසි ආර්ථිකයට උදා කරගත හැකි බවද මේ අය පවසති. එහෙත් දැනටමත් ලංකාවේ කැසිනෝහල් රැසක්‌ තිබියදි අලුතින් ඡේම්ස්‌ පැකර් නම් කැසිනෝ රජා ගෙන්වන්නේ ඇයි? අලුතින් ඔහුගේ කැසිනෝහල් මෙරට ආරම්භ කිරීමේ අරමුණ විය හැක්‌කේ කුමක්‌ද? ඊට ද හේතුවක්‌ තිබේ. ෙ-ම්ස්‌ පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ යනු කැසිනෝ ලෝකයේ ප්‍රකට සන්නම් නාමයක්‌ (Brand Name) වන නිසාය. එම සන්නම් නාමය හරහා ධනවත් විදේශිකයන් මෙරටට ආකර්ෂණය කර ගත හැකි යෑයි රජය සිතනවා විය හැකිය. එවිට කොළඹ නගරයේ රාත්‍රී ජීවිතය (Colombo night life) ගත කරමින් රැය පහන්වනතුරුම කැසිනෝ සූදු කෙළිමින්, මත් වතුරින් නැහැවෙමින් සහ ගණිකාවන්ගෙන් ඇති පදම් ලිංගික පහස විඳිමින් නිදහසේ උපරිම විනෝදාස්‌වාදය ලබන්නට මේ විදෙස්‌ සංචාරකයන්ට පුළුවන. අපගේ සංචාරක බලධාරීන්ටද මේ කරුණු සඳහන් කරමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමටද පුළුවන. එහෙත් දැනටමත් විදේශිකයන්ට පමණක්‌ යෑයි කියන කොළඹ කැසිනෝ හල්වලට, මුදල් තිබේ නම් ඕනෑම අයෙකුට' රිංගා ඔය කියන කැසිනෝ සූදු කෙළීමට පමණක්‌ නොව ගණිකාවන්ගේ පහස විඳීමටද පුළුවන. ඒ හරහා අවශ්‍ය නම් ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග වැළඳගෙන ඒවා අපේ සමාජයටත් පැතිරීමට දායක වීමටද පුළුවන. මේ ගැන වර්ෂ 1993 අගෝස්‌තු 17 වැනිදා එවකට විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව හඬනැඟුවේ මෙසේය.

"මොකක්‌ද මේ විනෝදය?.. පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක්‌ වුණා. ජෝසිම්ට පුළුවන්කම ලැබුණා. ඉහළ පෙළේ දේශපාලනඥයන් සමග පින්තූරවලට පෙනී සිටින්න. ජෝසිම්ලා වගේ උදවිය මේ රටට කැසිනෝ සූදු එක්‌ක තායිලන්ත ගණිකාවොත් ගේන ව්‍යාපාරයක්‌ ගෙන ගියා. මේ වගේ අය මේ රටේ අවුරුදු පහක්‌ ඉන්න එකවත් පුරවැසි භාවය ලබාගන්න එකවත් ඒ හැටි දෙයක්‌ නොවෙයි. මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේ ඉඳලා සල්ලි හම්බකරලා, කලු සල්ලි ඩොලර් කරලා, ඒ සල්ලිවලින්ම මේ රටේ ජීවත් වෙනවා. මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තීය, සමලිංගික සේවනය, ඒඩ්ස්‌ වැනි දේවලුත් මෙරටට ගේන්න පුළුවන්."

එදා කැසිනෝවලට එරෙහිව මේ ප්‍රකාශය කළ විපක්‍ෂ මන්ත්‍රීවරයා කවරෙක්‌දැයි ඔබ කල්පනා කරනවා විය හැකිය. ඒ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. මෙහි තවත් අනතුරක්‌ ගැන පසුගියදා (01) කොළඹ නිපෝන් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියන්a පෙන්වා දුන්නේ මෙසේය.

''මත්ද්‍රව්‍යවලට, ගණිකා වෘත්තියට, අපරාධවලට සරු පොළවක්‌ කැසිනෝ ව්‍යාපාරය හරහා පාලකයන් හදා දෙනවා. දේශපාලකයන්ගේ පුත්‍රයන්ගේ පොරපිටි බවට මෙම කැසිනෝ මධ්‍යස්‌ථාන පත්වෙනවා. රටේ ජනයාට හිතෛෂී ආණ්‌ඩුවක්‌ නම් එය කැසිනෝ හිමියන්ට නරක නම් කැසිනෝ ජාවාරම්කාරයන්ගේ වුවමනාවන් ඉටු කරන්නේ නැතිනම් එම පාලනය ඔවුන්ට අසුබ ලෙස දකිනවා. යම් පාලනයක්‌ කැසිනෝ වයාපාරිකයන්ට අසුබ නම් ජනතාව දෙස නොබලා එය පළවා හැරීමට ඕනෑම කුමන්ත්‍රණයක්‌ කරන්න ඔවුන් පෙළැඹෙනවා. අපේ රටේ පාලනය ගැන තීරණ ගැනීමේ බලය රටේ සුජාත දරුවන්ට අහිමි කරමින් එය කැසිනෝ ජාවාරම්කරයන්ට ලබාදීමේ මෙම ව්‍යාපෘතිය අපි හෙළා දකිනවා.''

ඉදිරියේදි කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවත, විනෝදාත්මක ස්‌ථාන සහිත කේන්ද්‍රයක්‌ ලෙස වැඩිදියුණු කිරීම රජයේ අපේක්‍ෂාව වී තිබේ. මෙහි භූමියක දැවැන්ත කැසිනෝ ශාලාවක්‌ ආරම්භ කිරීම ඡේම්ස්‌ පැකර්ගේ අපේක්‍ෂාව බවද පැවසේ. එසේම රජයේ සංචාරක උපාය මාර්ග සැලැස්‌මේ, විශේෂ කලාපවලට සීමා වන විනෝද මධ්‍යස්‌ථාන ලෙස සඳහන් වන්නේ ඇතැම් විට මේ සුපිරි කැසිනෝ ශාලා විය හැකිය. එහෙත් අපේ රටට අනන්‍ය සංචාරක නිෂ්පාදිතය මෙයද? රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාය. ඔහු මුදල් අමාත්‍යාංශයේ මෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ද ලේකම්වරයා ය. ඔහු මීට කලකට ඉහත සංචාරක සංවර්ධනය ගැන අදහස්‌ දක්‌වමින් මේ ලියුම්කරුට දැක්‌වූයේ මෙවැනි අදහසකි.

"අපට අනන්‍ය වූ සංචාරක නිෂ්පාදිතය (Tourism Product)අප හඳුනා ගත යුතුයි. මාලදිවයින ලබාදෙන සංචාරක භාණ්‌ඩය අපට එයාකාරයෙන්ම ලබාදෙන්න බැහැ. සිංගප්පූරුව ලබා දෙන භාණ්‌ඩය අපට එලෙසම දෙන්න බෑ. හේතුව ඒ භාණ්‌ඩය අපට වඩා හොඳට එහේ තියෙනව. යම් සංචාරක භාණ්‌ඩයක්‌ හෝ සේවාවක්‌ කොහේ ගියත් ගන්න බෑ, එය ගන්න ලංකාවට ම එන්න අවශ්‍ය නම් එය ඉතා වැදගත්. අපේ සංචාරක ව්‍යාපාරය තුළ එවැනි තත්ත්වයක්‌ ඇති කර ගත යුතුයි.

ආචාර්ය ජයසුන්දර තවදුරටත් කියා සිටියේ අපට අනන්‍ය එම සංචාරක භාණ්‌ඩය මතු කරගන්න අප උත්සාහ කළ යුතු බවයි. මෙය නිවැරැදි සහ ඉතා වැදගත් අදහසක්‌ බව අපගේ ද හැඟීමයි. රට තුළ දැනටමත් කැසිනෝ ශාලා රැසක්‌ තිබියදී එසේම කැසිනෝ සඳහා ප්‍රකට ලෝකයේ තවත්a සංචාරක ගමනාන්ත කොතෙකුත් තිබියදී ඡේම්ස්‌ පැකර් ගෙන්වා ගෙන අප මේ කරන්නට හදන්නේ කුමක්‌ද? අපට අනන්‍ය වූ සංචාරක භාණ්‌ඩය එළියට ගැනීමට උත්සාහ කිරීමක්‌ද?


අහිතකර සමාජ බලපෑම්
අවම කර ගත යුතුයි


'කැසිනෝ' කියපු ගමන් එය සදාචාරාත්මකව වැරැදියි කියන අදහසයි සිතට නැගෙන්නේ. එහෙත් එහි ආර්ථික වාසි අවතක්‌සේරු කරන්න බැහැ. කැසිනෝවල අහිතකර සමාජ බලපෑම් තියෙනවා. ගණිකා ව්‍යාපාරය මේ සමග එනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයට මෙය යොදා ගන්නවා නම් එම අහිතකර සමාජ බලපෑම් හැකිතාක්‌ අවම වන පරිදි සහ ආර්ථික වාසි උපරිම වන පරිදි සීමිත ප්‍රදේශයකට මේවා යොදා ගන්න ඕන. මෙය සංචාරක ව්‍යාපාරයට යොදා ගත්තත් නීතිය මගින්ම දේශීය ජනතාව සඳහා මේවාට සම්බන්ධ වීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුයි. සිංගප්පූරුවෙත් එහි ජනතාව කැසිනෝවලට සම්බන්ධ වීමට ඇති ඉඩකඩ ඇහිරීමට පියවර ගෙන තිබෙනවා ඒ තුළින් මෙහි අහිතකර සමාජ බලපෑම් අඩු කරල, සංචාරක ව්‍යාපාරයට මෙය යොදා ගැනීම තුළින් රටකට එහි ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. මේ ගැන ජනතාව දැනුවත් කිරීමත් අවශ්‍යයි. මෙමගින් වැඩියෙන් මුදල් වියදම් කරන සංචාරකයන් රටට එනවා. ඒ වගේම ආයෝජනත් ඇදී එනවා. එසේම මෙමගින් උපයන මුදල් ආර්ථිකයේ වෙනත් අංශවල දියුණුවටත් යොදා ගත හැකියි. විදෙස්‌ සංචාරකයන් වෙනුවෙන් සීමිත ප්‍රදේශයක 'කැසිනෝ' සඳහා ඉඩ දුන්නත් ලංකාව කැසිනෝ පුරවරයක්‌ කරන්න අවශ්‍ය නෑ.

ආචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.