සංස්‌කරණය : නාරද නිශ්ශංක

ඓතිහාසික කතා වැඩි වැඩියෙන් සිනමාවට
නැංවීම ළමා පරපුරට කරන සේවයක්‌

- සෝමරත්න දිසානායක

'සිරි පැරකුම්' ළමයින් ප්‍රියකරන චිත්‍රපටයක්‌

බිංදු, සරෝජා, සූරියඅරණ, සිරිරජ සිරි, සමනල තටු වැනි චිත්‍රපට ඔස්‌සේ මෙරට ළමා පරපුරත්, වැඩිහිටි පරපුරත් සිනමාව වෙත ආකර්ෂණය කරගත් සෝමරත්න දිසානායක දැන් තවත් අලුත් චිත්‍රපටයක්‌ තිරගත කිරීමට සූදානම්ව සිටී. ඒ "සිරි පැරකුම්" ය.

කොතැනක හෝ සිදුවූ වරදක්‌ නිසා අපට සිනමාවෙන් ඈත්ව සිටි ප්‍රේක්‌ෂකයා යළි ශාලා වෙත ගෙන ඒමට සෝමරත්න දිසානායක මෙන්ම රේණුකා බාලසූරිය ද පෙරකී සිනමා පට ඔස්‌සේ සමත්කම් පෙන්වූහ. ඔවුන් නිෂ්පාදනයෙන් දායකවූ "සංකාරා" සහ "කුස පබා" ද එසේමය.

විශාල පිරිවැයක්‌ දරමින් ගුණාත්මක බවින් ඉහළ චිත්‍රපට නිර්මාණය කරන අතලොස්‌ස අතර ඉදිරියෙන් සිටින සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය දෙපළ විසින් නිර්මාණය කළ "සිරි පැරකුම්ද" එවැනිම චිත්‍රපටයකි.

"සිරි පැරකුම්" ඊ. ඒ. පී. මණ්‌ඩලයද ඇතුළු සිනමා ශාලා රැසක තිරගත වීම ඇරැඹේ. ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාව සිරි පැරකුම් ගැනය.

සිරිපැරකුම්... මොකක්‌ද මේ කතාව?

දඹදෙනිය යුගයේ ඒ කියන්නේ දහතුන්වැනි ශතවර්ෂයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිතව නිර්මාණය කළ චිත්‍රපටයක්‌. කව්සිළුමිණ ලියුවේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා. මේ රජතුමාගේ ළමා කාලය තරුණ කාලය පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. මේ ජනප්‍රවාද හරිම සුන්දරයි. පියාගෙන් පසු රජවෙන්න උරුමය තියෙන්නේ මේ පුංචි කුමාරයාට. ඒත් කුමාරයාට මරණ තර්ජන තියෙනවා. පුංචි කාලෙදිම කුමාරයාගේ මව මිය යනවා. ඉන්පසු බිසව බවට පත්වන කුඩම්මා තමයි කුමාරයාව මරන්න සැලසුම් කරන්නේ. ඇයගේ අභිප්‍රාය වන්නේ ඇගේ පුතාට රජකම උරුමකර දෙන්න. රජ බිසවගේ සැලසුම් සියල්ල පතිරාජ නමැති සෙනෙවියාට හෙළිවෙනවා. ඔහු රජුට හිතවත් වගේම පුංචි කුමාරයාටත් මහත්සේ ආදරය කරන කුමාරයාගේ ආරක්‌ෂාවටම කැපව සිටින සෙනෙවියෙක්‌. එනිසාම පුංචි කුමාරයාව හොර රහසේ මාලිගාවෙන් පිටමං කරන්න පතිරාජ සෙනෙවියා කටයුතු කරනවා. මාළිගාවේ රෙදි හෝදන රෙදි නැන්දා මාර්ගයෙන් පතිරාජ සෙනෙවි පුංචි කුමාරයාව මාළිගාවෙන් පිටතට කැටුව යැමට සලස්‌වනවා. රෙදි නැන්දා පුංචි කුමාරයාව ගමට කැටුව ඇවිත් හදා වඩා ගැනීමට ගමරාළ කෙනෙකුට පවරනවා. මේ ගමරාළටත් දූවරුන් දෙදෙනෙක්‌ ඉන්නවා. එකියක්‌ සිරිමල් එතනා. අනෙක්‌ දියණිය කලු එතනා. පුංචි කුමාරයාට අප්පුවා ලෙස නම් තබනවා. අප්පුවා රෙදි නැන්දගෙ පුතා ලෙසයි ගමේ අය හිතන්නේ. එනිසා පුංචි කුමාරයාට ගමේ බොහෝ පිරිසක්‌ වෙනස්‌කම් කරනවා. කලු එතනාත් අප්පුවාව ප්‍රතික්‌ෂේප කරනවා. ඒත් සිරිමල් එතනා අප්පුවාට ආදරෙයි. දවසින් දවස උස්‌ මහත්වන අප්පුවා ගමේ අනෙක්‌ දරුවන්ට වඩා වෙනස්‌. ශරීරයෙන්, කතාබහෙන්, බුද්ධියෙන් ඔහු දස්‌කම් පෙන්වනවා. පන්සලේ හාමුදුරුවන්ගෙන් ගාථා, ශ්ලෝක, සීපද සියල්ල අති දක්‍ෂ ලෙස උගෙන ගන්න අප්පුවා පිළිබඳ හාමුදුරුවන්ටත් පුදුමයි. එනිසාම වැඩිපුර ශිල්ප හැදෑරීමට අප්පුපා දඹදෙනියේ මහානායක හිමියන් වෙත යොමු කරනවා. මේ සෑම දෙයක්‌ පිටුපසම ඉන්නේ පතිරාජ සෙනෙවි. අප්පුවාට නොදැනෙන්න පතිරාජ සෙනෙවි ඔහු ගැන අවධානය, සැලකිල්ල යොමුකරනවා. තමන් රජ කුමරකු බව උස්‌ මහත් වෙද්දි අප්පුවාගේ මතකයෙන් බැහැර වෙනවා. ඔහු සිරිමල් එතනාට ආදරය කරනවා. දැන් අප්පුව හැඩි දැඩි කඩවසම් තරුණයෙක්‌. ඔහු සිරිමල් එතනා හා විවාහ වෙනවා. මේ කාලයේදී රජතුමා මරණයට පත්වෙනවා. ඔටුන්න හිමි කුමාරයා සොයාගෙන මඟුල් ඇතා ගමේ සැරිසරනවා. මේ මඟුල් ඇතා පුංචි කාලයේදි කුමාරයා හා සෙල්ලම් කළ පුංචි ඇත්පැටවා. කුමාරයාගේ ගුණ සුවඳ ඇතාට හුරු පුරුදුයි. පතිරාජ සෙනෙවියා මඟුල් ඇතා අප්පුවා සිටින දිශාවට යොමු කරවනවා. කලු එතනා සමඟ හේනේ සිටිද්දී මඟුල් ඇතා ඇවිත් අප්පුවා ඉදිරියේ දණ නවනවා. අප්පුවා රජවෙනවා. කෘෂිකර්මාන්තය, සාහිත්‍ය, භාෂාව නඟා සිටුවමින් දෙවැනි පරාක්‍රමබාහු නමින් රජවන අප්පුවා රට දැහැමින් පාලනය කරනවා.

සිරි පැරකුම් ඔබ හඳුන්වන්නේ ළමා චිත්‍රපටයක්‌ ලෙසද?

මගේ අනෙක්‌ චිත්‍රපටවල තිබෙන මහා පොදු සාධකය මේ චිත්‍රපටයේත් තියෙනවා. ඒත් මම සිරි පැරකුම් ළමා චිත්‍රපටයක්‌ ලෙස හඳුන්වන්නේ නෑ. "සිරි පැරකුම්" ළමයින් ප්‍රියකරන චිත්‍රපටයක්‌. චිත්‍රපටයේ පූර්ව භාගය දිවෙන්නේ පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය ගැන. වයස අවුරුදු පහේ ඉඳලා අවුරුදු දොළහ දක්‌වා කාලය චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක්‌ තියෙන්නේ ළමා ක්‍රියාකාරකම්.

ඔබේ සෑම චිත්‍රපටයකම මුල්තැන දෙන්නේ ළමා නළු නිළියන්ට.... ළමයින් සමඟ වැඩ කිරීම පහසුද?

ඔව්... පුංචි දරුවෝ තෝරා ගනිද්දිත් මම නිසි පිළිවෙත් අනුගමනය කරනවා. මේ චිත්‍රපටයටත් මම ජනමාධ්‍ය ඔස්‌සේ දරුවන්ගේ අයෑදුම්පත් කැඳෙව්වා. වට පහකින් දරුවන් තෝරාගෙන වැඩමුළු තියලා ඒ ඒ චරිතවලට සුදුසු දරුවන් තෝරා ගත්තා. මගේ තේරීම නිවැරදි බව චිත්‍රපටය නරඹද්දි තහවුරු වෙනවා.

ඔබ මෙවර සිනමාවට අලුත් තරුණයෙක්‌ සහ තරුණියන් දෙදෙනෙක්‌ හඳුන්වා දෙනවා.

ඔව්. පරාක්‍රමබාහු රජතුමාගේ තරුණ කාලය රඟපාන අකිල ධනුද්දර... ජැක්‌සන් ඇන්තනීගේ ලොකු පුතා අකිලගේ මල්ලි සජිත අනුන්තර සිනමාවට ආවේත් මගේ "සූරිය අරණ" චිත්‍රපටයෙන්. ඊළඟට සෙනාලි ෆොන්සේකා, සිරිමල් එතනා ලෙස රඟනවා. සෙනාලි මාලිනී ෆොන්සේකාගේ සොහොයුරා උපාලි ෆොන්සේකාගේ දියණිය. ඒ වගේම සිනමාවට කිසිම නෑකමක්‌ නැති අලුත්ම තරුණියක්‌ කළු එතනා ලෙස රඟපානවා. ඇය සිනෙති ලංසකාර.

ඔබ මීට කලින් කළ චිත්‍රපට සමඟ සසඳද්දි "සිරි පැරකුම්" අභියෝගයක්‌ද?

ඔව්... මෙය අභියෝගයක්‌ වුණා. දහතුන් වැනි සියවසේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික පසුබිමක්‌ සහිත චිත්‍රපටයක්‌ කරද්දි වැය පැත්ත වගේම කාලය, කැපවීම. නිරීක්‍ෂණ කටයුතු ප්‍රවේශමෙන් කළ යුතුයි. මම පාසල් විෂයක්‌ ලෙස ඉතිහාසය හදාරා නෑ. එනිසා ඉතිහාස පොත පත පරිශීලනය කළා. පිටපත රචනා කිරීමට අභියෝගයක්‌. අනෙක චාන්දනී සෙනෙවිරත්න, පාලිත සිල්වා, සචිනි අයේන්ද්‍රා ඇරුණාම අනෙක්‌ අය ආධුනික ළමයින්. මෙතනදි පතිරාජ සෙනෙවියාට රඟ පෑ අශාන් ඩයස්‌ ගැනත් යමක්‌ කිව යුතුයි. ඔහු චන්ද්‍රන් රත්නම්ගේ අලිමංකඩ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ... ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ශිල්පියෙක්‌. ඔහු මැනවින් පතිරාජ සෙනෙවියා චරිතයට සාධාරණයක්‌ ඉෂ්ට කළා. ඒ වගේම දර්ශනතල ඉතාම දුෂ්කරයි. දහතුන්වැනි ශතවර්ෂයේ පරිසරය නොවෙයිනේ අද ලංකාවේ තියෙන්නේ. අපි ලංකාව පුරා සුදුසු දර්ශන තල සෙව්වා. අවසානයේදි මාතලේ අඹන ප්‍රදේශය තෝරාගත්තා.

ඉතිහාස කතා සිනමාවට නැගීම ගැන ඔබේ අදහස.

ඓතිහාසික චිත්‍රපටවලට ඉඩකඩ, සීමා මායිම් නෑ. අපේ රට සරුසාර ඉතිහාසයක්‌ තියෙන රටක්‌ සෑම රාජ්‍ය යුගයකම මොකක්‌ හරි සිදුවීමක්‌ සහිතයි. එනිසා සිනමාකරුවන්ට සාහිත්‍යකරුවන්ට අවශ්‍ය මූලාශ්‍ර අපේ ඉතිහාසය පුරා පිරී ඉතිරී තිබෙනවා. තව තවත් බොහෝ ඉතිහාස නිර්මාණ බිහිවිය යුතුයි. ඒක අපේ සිනමාවටත්. සාහිත්‍යයටත් ළමා පරපුරටත් කරන සේවයක්‌.

හැම රැල්ලක්‌ම කෙටි කාලයයි. ඓතිහාසික චිත්‍රපටත් රැල්ලක්‌ කියා හිතන්නේ නැද්ද?

නෑ.... ප්‍රේක්‌ෂකයා රැළි නම් ප්‍රතික්‌ෂේප කරනවා. ටික කාලයක්‌ එක එක රැළි ආවා. හොඳ සිනමාවක්‌ හැදෙනවා නම් රැළි ඊට බාධාවක්‌ නොවේ. ඓතිහාසික චිත්‍රපට ප්‍රතික්‌ෂේප කරනවා කියන කතාව මම පිළිගන්නේ නෑ. නමුත් මා කරන නිර්මාණය සිනමාරූපිව කළ යුතුයි. අලුත් චිත්‍රපටයක්‌ විය යුතුයි. අලුත් යමක්‌ දීමට නිර්මාණකරුවා ප්‍රවේශම් විය යුතුයි. මෙතෙක්‌ කළ ඉතිහාස කතාවලට වඩා වෙනස්‌ චිත්‍රපටයක්‌ ලෙස "සිරි පැරකුම්" නිර්මාණය කරන්න මා උත්සාහ කළේ එනිසායි.

අජිත් අලහකෝන්
ඡායාරූප-විශ්ව බාලසූරිය

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.