සංස්‌කරණය : නාරද නිශ්ශංක

අනෝමා ජනාදරී "පුනරුක්‌ති" සමග
අන්තර් ජාතික පාඨක ප්‍රජාව හමුවට

ශ්‍රී ලංකා සිංහල සිනමාවේ පළමු නිළිය රුක්‌මණී දේවියයි. කාන්තා චරිත පවා පිරිමින් රඟ පෑ යුගයක රුක්‌මණී දේවිය ආත්ම පරිත්‍යාගයෙන් යුතුව මුළු මහත් ජීවිතයම කැප කළේ සිනමාව වෙනුවෙනි. ඉන් පසුව සිනමාවේ සාම්ප්‍රදායික සිංහල ජාතික මුහුණුවර පිළිවෙළින් රූපණය කරන ලද්දේ පුණ්‍යා හීන්දෙනිය, අනුලා කරුණාතිලක හා මාලනී ෆොන්සේකායි. සිංහල සමාජයේ විවිධ සමාජ පෙරඝීන්ට අනුරූප කාන්තා සිතුම් පැතුම් ද රූපණය කරමින් පළමු වරට පුරුෂ හිංසනයේ ප්‍රචණ්‌ඩත්වය හා ඊට ගැහැනිය ප්‍රතිවිරෝධතා ගොනු කරන අයුරු විශිෂ්ට ලෙස හා පළමු වරට රූපණය කරන ලද්දේ වසන්ත ඔබේසේකරගේ දඩයම චිත්‍රපටයේ රඟපෑ ස්‌වර්ණා මල්ලවආරච්චියි.

ඉන් දශක තුනකට පසු සිදුවන සමාජ දේශපාලන විපර්යාස හමුවේ සිංහල කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක්‌ ඉස්‌මතු වන්නේ අශෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටයේ අනෝමා ජනාදරී රූපණය කරන චරිතයෙනි. එතෙක්‌ පැවති සාම්ප්‍රදායික බමුණු මත සුනු විසුනු කිරීමට සමත් රූපණයක්‌ ස්‌වර්ණා මල්ලවආරච්චි විසින් ප්‍රසංග කළා සේම එහි සමාජ දේශපාලනික විෂමතා හුවා දක්‌වන ප්‍රතිවිරෝධාත්මක චරිත නිරූපණයක්‌ ඉදිරිපත් කිරීමට තනි තටුවේ රඟපෑ අනෝමා ජනාදරී සමත් වූවාය.

2011 වසරේදී ඇය තම සමාජවාදී භූමිකාව තව පියවරක්‌ ඉදිරියට ගෙන යමින් හිංසනය හා ප්‍රචණ්‌ඩත්වයට ලක්‌වන ගැහැනු දරුවන්ගේ චිත්ත ප්‍රකෘතිය ධෛර්යයට පත් කරවන තම ජීවිත කතාව එළිදක්‌වන ලදි. ඊට පුළුල් පාඨක අවධානය හිමි වෙමින් වැඩියෙන්ම අලෙවි වාර්තා තැබු පොත බවට පත්වීමට හැකියාව ලැබුණි. එහි නම පුනරුක්‌ති වේ.

අනෝමා ජනාදරී මෙවර සැරසෙන්නේ පුනරුක්‌ති අන්තර් ජාතික පාඨක ප්‍රජාව හමුවට ගෙන යාමටයි. ඒ අනුව ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කරන ලද පුනරුක්‌ති ඇයගේ උපන් දිනය වන මැයි තුන්වන දා හවස 4.00 ට කොළඹ 07, ලක්‌ෂ්මන් කදිරගාමර් ක්‍රමෝපාය හා අධ්‍යයන ආයතනයේදී කාන්තා සංවිධාන කිහිපයක එකමුතුවෙන් එළිදැක්‌වීමට සූදානම් වෙයි. මෙහි මුඛ්‍ය දේශනය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, The Role of Rebel -'පෙරළිකාරියකගේ භූමිකාව' යනුවෙන් පවත්වනු ලබන අතර Kansul සෙරාදම් - පාසැල් වියෙහිදීම බලගැන්විය යුතු කාන්තා උරුමයන් ( සිතීමේ නිදහස, තම අයිතීන් මීට අමතරව ප්‍රාසාංගික අංග කිහිපයකින් ද මෙම එළිදැක්‌වීම සමන්විත වේ. සාහිත්‍ය කලාකාමී සියලු රසික ප්‍රජාවට මෙම සුවිශේෂී අවස්‌ථාවට ඇරයුම් කරන බව සංවිධායකයෝa පවසති.


 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.