සංස්‌කරණය : නාරද නිශ්ශංක

 

සහාය අධ්‍යක්‍ෂවරයා න්‍යායාත්මක මෙන්ම
ප්‍රායෝගික දැනුමින් ද සන්නද්ධ විය යුතුයි

- රන්සිරිමල්, බොරළු පාර, ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂ ග්‍රැන්සන්ඩ් ද සිල්වා

සහාය අධ්‍යක්‍ෂවරයා යනු කිසියම් වූ කලා නිර්මාණයක ප්‍රධාන භූමිකාවට පණ පොවන්නකු වුවත් වැඩිදුර කතා බහට හෝ වැඩි ඇගයීමට, අවධානයට ලක්‌ නොවන්නකි. එවන් පසුබිමක සිට අද අප උත්සාහ කරනුයේ සහාය අධ්‍යක්‍ෂණය පිළිබඳ යම් විමසීමක්‌ සිදු කරනු වස්‌, එහි ප්‍රවීණයකු සමඟ කෙටි කතාබහක නියෑලීමටය. හේ වසර 16ක සිට කලාව සමඟ එක්‌වෙමින්, මෙරට ප්‍රේක්‍ෂක මතකයන් තුළ රැඳී පවතින ටෙලි නාට්‍ය නිර්මාණ 50කට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ, එහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. මෙරට වැඩිම සම්මානයන් ප්‍රමාණයකට පාත්‍ර වුණු, කලා ශිල්පී ලලිත් රත්නායක අධ්‍යක්‍ෂණය කළ zතෙත් සහ වියළිZ, zඅරුංගල්, යන විශිෂ්ට ටෙලි නාට්‍ය ද්වයේ සහාය අධ්‍යක්‍ෂවරයා වූයේ ද ඔහුය. කීටයා, ඉස්‌සරහ ගෙදර, සකිසඳ එලියස්‌, මුදවපු කිරිල්ලී, තාලය සොයන ගීතය, තරු කුමරි, සෙනෙහස කවියක්‌, සෙනෙහසට ආදරෙයි සහ ජාතික රූපවාහිනියේ මෑතකදි විකාශය නිමාව දුටු ඉමහත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබූ zබොරලු පාරZ සහ zරන් සිරිමල්Z ටෙලි නිර්මාණ ද්වයේ ද සහාය අධ්‍යක්‍ෂවරයා වූ හෙතෙම නුදුරේදීම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. මතු දැක්‌වෙන්නේ ග්‍රැන්සන්ඩ් ද සිල්වා නම් වූ තරුණ නිර්මාණශීලී කලා ශිල්පියාණන් සමඟ zදිවයින සිනමා කලාZ පැවැත්වූ සංවාදයක සංක්‍ෂිප්ත සටහනයි.

සහාය අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාව පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළොත්.......

ටෙලි නිර්මාණයකදී අධ්‍යක්‍ෂවරයාට පසුව එහි වැඩි වගකීමක්‌ දැරීමට සිදුවන්නේ සහාය අධ්‍යක්‍ෂවරයාට. මෙහිදී න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුමෙනුත් සන්නද්ධව සිටීම ඉතාමත් වැදගත්. කලාත්මක ගුණාංගයන්ගෙන් පෝෂිත නිර්මාණයක්‌ කරන අධ්‍යක්‍ෂවරයකුට දක්‍ෂ සහාය අධ්‍යක්‍ෂවරයෙක්‌ කියන්නේ අත්‍යාවශ්‍ය පුද්ගලයකුට. කලා අධ්‍යක්‍ෂණය, නිෂ්පාදන කළමනාකරණය, වේෂ නිරූපණය, සංස්‌කරණය ගැන පමණක්‌ නොවෙයි, රංගනය පිළිබඳවත් සහාය අධ්‍යක්‍ෂවරයකු දැන සිටිය යුතුයි. එසේ වුවහොත් නිර්මාණය වෙනුවෙන් පිරිවැය දරන අර්ථපතියාගේ ධනය අනර්ථකාරී ලෙස වැය නොවන පරිදි ප්‍රමිතියෙන් යුතු උසස්‌ නිර්මාණයක්‌ එළි දැක්‌විය හැකියි.

එතකොට ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයා නිර්මාණයකදී කළ යුතු මූලික කාර්යභාරය කුමක්‌ද..?

එය දීර්ඝ ලෙස කළ යුතු විග්‍රහයක්‌ වුවත්, ඉතාමත් කෙටියෙන් පවසනවා නම්, කොටස්‌ 3 ක්‌ ලෙස වර්ග කළ හැකියි. ටෙලි නිර්මාණයකට සුදුසු තිර පිටපතක්‌ සොයා ගැනීමෙන් අනතුරුව, පූර්ව නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ පසු නිෂ්පාදන ක්‍රියාවලිය ලෙස.

කලාත්මක සහ ගුණාත්මක නිර්මාණයක්‌ එළිදැක්‌වීමේදී සහාය අධ්‍යක්‍ෂවරයාට සෙසු පාර්ශ්වයන්ගෙන් ලැබිය යුත්තේ කිනම් වූ සහයෝගයක්‌ ද..?

සාර්ථක නිර්මාණයක්‌ එළිදක්‌වන්නට නම් සහාය අධ්‍යක්‍ෂවරයාට ඒ නිර්මාණය තුළ එක්‌ව සිටින සියලු දෙනාගේම සහාය වැදගත්. එවිට අධCෂ්‍යවරයාට ඔහුගේ නිර්මාණශීලී අදහස්‌ එක්‌ කරමින් කඩදාසි ගොඩක ලියූ අදහස්‌ බාධාවකින් තොරව සජීවීකරණයට රැගෙන යා හැකියි. නමුත්, වර්තමානයේ සිදුවන්නේ ඊට එහා ගිය දෙයක්‌ නේ.

ඔබ ඇයි එහෙම කියන්නේ...?

අද ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ සිටින බොහෝ රංගන ශිල්පීන්, ශිල්පිනියන් සමස්‌ත නිර්මාණය පසෙකලා ඔවුනොවුන් කැපී පෙනෙන්නට දඟලනවා. එතනදී නිර්මාණය වෙනුවෙන් සුවිශාල මෙහෙයක්‌ ඉටු කරන, තාක්‍ෂණික ශිල්පීන්, උපස්‌ථායකවරුන් පමණක්‌ නොවෙයි, සහාය අධ්‍යක්‍ෂවරයා මෙන්ම අධ්‍යක්‍ෂවරයාත් අමාරුවෙ වැටෙනවා. මට ඒ පිළිබඳව හුඟක්‌ අත්දැකීම් තිබෙනවා. ඇතැම් අධ්‍යක්‍ෂවරුන් තම නිර්මාණාත්මක කෞෂල්‍යය එළිදැක්‌විය හැක්‌කේ රංගන ශිල්පීන් මතින්ම පමණක්‌ යන අදහසින් ඔවුන් ඔහුගේ හිස උඩ පිනුම් ගැසුවත්, තඹයකට ගණන් නොගෙන සිටි අවස්‌ථාවන් මා දැක තිබෙනවා. නමුත් දක්‍ෂ රංගන ශිල්ප ශිල්පිනියන් බිහිවන්නේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරු හරහා කියලයි මා විශ්වාස කරන්නේ. ඉවසීම හොඳ මානුෂික ගුණාංගයක්‌ වුවත්, ඒ ඉවසීම තුළ යම් ආයතනයක්‌ හෝ පුළුල් ක්‍ෂේත්‍රයක්‌ ම කඩා වැටීමට ලක්‌වෙනවා නම්, එවැනි අවස්‌ථාවක ඉවසීමෙන් බලා සිටීම නිවටකමක්‌ හා බරපතළ අපරාධයක්‌ ලෙසයි මා දකින්නේ.

ඔය කියන වැරදි කරන රංගන පරපුරක්‌ සමඟ කලාවේ මේ ගමන සාර්ථකව ඉදිරියට යැම ගැටලු සහගතයි නේද..?

සමහර විට මෙවැනි තත්ත්වයක්‌ ඈත අතීතයේ සිට පැවත එන්නටත් ඇති. නමුත් මෙවැනි අශීලාචාර, අශිෂ්ට ගතිගුණ දක්‌නට ලැබෙන්නේ ප්‍රවීණ කලාකරුවන්ට වඩා නවක පරම්පරාවේ පිරිසගෙන් බව මා පවසන්නේ මගේ කලා දිවියේ වසර 16ක අත්දැකීම් මතින්. බොහෝ වෙලාවට වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ ක්‍ෂේත්‍රය හරහා පැමිණි අය දක්‍ෂතාව තිබුණත්, නිර්මාණයට කැප නොවීම සහ ඊට ආදරය නොකිරීම තුළ මෙවන් තත්ත්වයන් ඇති වෙනවා. මම කියන්නේ මොනයම් ක්‍ෂේත්‍රයක හෝ දැනුම පමණක්‌ තිබුණට මදී. ඒ දැනුම තුළින් අවංක සේවයක්‌ ඉටු කිරීමට බුද්ධියක්‌ තිබිය යුතුයි කියලා.

තමන්ට නිසි වටිනාකමක්‌ ගෙවන්නේ නැහැ කියන එක වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව තුළ බොහොමයක්‌ දෙනා නඟන මැසිවිල්ලක්‌. මොකක්‌ද මේකේ ඇත්ත කතාව....?

ඇතැම් රූපවාහිනි නාලිකා කියනවා තමන්ගේ ආයතනය පාඩු පිට දුවන නිසා ටෙලි නාට්‍යයකට ගෙවිය හැකි මුදල සීමා කර ඇති බවක්‌. නමුත් සොයා බැලුවොත් මේ කතා පදනම් විරහිත බව අපි දන්නවා. දවස ගෙවා ගන්නට කලා ක්‍ෂේත්‍රයට පැමිණෙන අය මුදල ගැන තැකීමක්‌ නොකර වෙනත් අරමුණු පසුපස හඹා යනවා. යම් නිර්මාණයකට සම්බන්ධ වුණු පසුව තමන්ට ලැබෙන මුදල ගැන නොසලකා අවංකවම කැපවිය යුතුයි. නමුත් අද සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස්‌ දෙයක්‌. අපිට ගෙවන්නේ මේ ගාන. ඒ නිසා අපට මේකට මොනවා වුණත් එකයි. කවුරු ආවත් නාවත්, අමාරුවේ වැටුණත් අපට වැඩක්‌ නෑ. මම කරන්නේ මට ඕනෑ දේ. ඔය විදිහට තමයි අද අපේ ඇතැම් රංගන ශිල්ප ශිල්පිනියන්ගේ සිතුම් පැතුම්. ඉතිං කොහොමද කියන්නේ තමුන්ට නිසි වටිනාකමක්‌ නොදුන්නා කියලා.

ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ වගකීමෙන් සහ කැපවීමෙන් තමන්ගේ කාර්ය ඉටු කළ සහාය අධ්‍යක්‍ෂවරයකු වන ඔබ ඒ පිළිබඳව නිසි ඇගයීමක්‌ නොලැබීම පිළිබඳව සිතන්නේ කුමනාකාරවද..?

මා දන්නා තරමින් සහාය අධ්‍යක්‍ෂවරයකුට සම්මානයක්‌ දුන්නේ එක්‌ වතාවක්‌ පමණයි. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට යන දෙඅංශයම දේශීයව හෝ ජාත්‍යන්තරව ගත්තත් සහාය අධ්‍යක්‍ෂවරයා නමින් හැඳින්වෙන පුද්ගලයා නිර්මාණය තුළ විශාල කාර්යභාරයක්‌ ඉටු කරන්නෙක්‌. ඔහුගේ අගය දන්නේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිර්මාණය තුළ ජීවත්වන පුද්ගලයන් පමණයි. නමුත් අද අපේ රටේ සම්මාන උළෙලවල සහාය අධ්‍යක්‍ෂවරුන් ඇගයීමට ලක්‌ නොවන්නේ, නිර්මාණ විනිශ්චය කරන විනිසුරු මඬුල්ලේ මිමි සකසා ගැනීමට තිබෙන අපහසුතා නිසා දැයි කියා මගේ සිතේ සැකයක්‌ තිබෙනවා. කොහොම වුණත් සහාය අධ්‍යක්‍ෂවරයාගේ දක්‍ෂතාව මත සමස්‌ත නිර්මාණයම ර¹ පවතින බව වටහා ගතහොත් එය යම් ඇගයීමකට ලක්‌ කිරීමට අසීරු වන්නේ නැහැ.

නිර්මාණකරුවන් කළ යුත්තේ ප්‍රේක්‍ෂකයාට තම පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න ගොඩ නොනැගෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වපසරිය සකස්‌ කර දීමත්, ජීවිතය පිළිබඳව සුබවාදී කෝණයකින් බලන්නට අවශ්‍ය තෙවැනි ඇසක්‌ ලබාදීමත් කියලයි මා විශ්වාස කරන්නේ. මේ කාරණය පිළිබඳව අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔබේ අර්ථකථනය කුමනාකාරව ද..?

මගේ ප්‍රථම ඒකාංගික ටෙලි නාට්‍යය වුණේ zකොළෑවූQවෝZ බුදුරජාණන් වහන්සේ වදාළ මහා මංගල සූත්‍රය අනුසාරයෙනුයි එය නිර්මාණය වුණේ. මගේ දෙවැනි නිර්මාණය zඅඳ නෙත්Z එය ඇස්‌ නොපෙනෙන පුද්ගලයා සහ දෙඇසම පෙනුනත්, අන්ධයන් සේ ක්‍රියාකරන පුද්ගලයන් පිළිබඳව බුදු දහමට අනුව කළ විවරණයක්‌. මෙම ටෙලි නාට්‍ය දෙකෙහීම අධ්‍යක්‍ෂවරයා සහ නිෂ්පාදකවරයා ද ලෙසින් ඔබ ඔය ඇසූ ප්‍රශ්න දෙකටම එදා මා පිළිතුරු සැපයූවා.

අපේ රටේ දුවා දරුවන් වෙනුවෙන් ළමා ටෙලි නාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කිරීමට හොඳ පිටපතක්‌ ඔබ සන්තකයේ තිබෙනවා යෑයි පැවසුවා. මෙය ක්‍රියාවට නැංවීමට තිබෙන ප්‍රමාදය කුමක්‌ ද..?

ඇත්තෙන්ම මේ නිර්මාණය වෙනුවෙන් පිරිවැය දැරිය හැකි අර්ථපතියෙක්‌ මේ දිනවල මා සොයමින් පසුවෙනවා. ක්‍ෂේත්‍රයේ සිටින නිෂ්පාදකවරුන් කිහිපදෙනෙක්‌ සමඟ සාකච්ඡා කළා. ඇතැම් අය බලාපොරොත්තු වන්නේ, දිනකට කොටස්‌ 2, 3 ක්‌ රූගත කළ හැකි සීග්‍රගාමී ක්‍රමයක්‌. තවත් අය අඩු මුදලකින් ටෙලියක්‌ කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. තවත් aපිරිසක්‌ ඉන්නවා අපේම අධ්‍යක්‍ෂවරුන් විසින් රැවටීමට ලක්‌ කළ අය. ඒ නිෂ්පාදකවරුන්ට වියදම් කළ මුදලවත් නිර්මාණයවත් ලැබී නැහැ. ඒ නිසා පැහැදිලි ලේඛන සහිතව අවබෝධයෙන් කටයුතු කළ හැකි නිෂ්පාදකවරයකු තමයි මා සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන්නේ.

මේ කාර්ය සඳහා අවංකවම සහාය විය හැකි අර්ථපතියෙකුට මගේ 0777457785 දුරකතන අංකයට කතා කළ හැකියි.

ඔය කියන විදියේ අර්බුදකාරී තත්ත්වයක්‌ අපේ රටේ ටෙලි නාට්‍ය කලාව ඇතුලේ තිබෙනවා නම් ඇයි ඒ පිළිබඳව කිසිවෙක්‌ ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ..?

ප්‍රධානම කරුණ තමයි තමන්ට වැඩ නැති වෙයි කියන බය. තව පිරිසක්‌ මේ ගැන කතා කළාට පලක්‌ නැහැ කියන තැන ඉන්නවා. තවත් පිරිසක්‌ ඇතිවෙලා තිබෙන අර්බුදය දඩමීමා කරගෙන තමන්ගේ සාක්‌කු පුරවා ගන්නවා. නමුත් මේ ආකාරයට ගියොත් වැඩි කලක්‌ මේ ටෙලි නාට්‍ය කලාව කලාවක්‌ විදිහට පවතින එකක්‌ නැහැ. කලාව හුදෙක්‌ම ව්‍යාපාරයක්‌ බවට පත්වීම තමයි සිදුවන්නේ. ප්‍රේක්‍ෂකයා ගොනාට අන්දවා, ලැබෙන zරේටින්ග්ස්‌Z මත මුදල් උපයන මුදලාලිලාට යටවෙලා, දියව යන නිර්මාණකරුවන්ගේ මළගම වැඩි ඈතක නොවන බවයි මගේ හැඟීම. හැබැයි...ඒ අපරාධයේ පංගුකාරයෙක්‌ වන්නට මම කැමැති නෑ.

රූපවාහිනි වැඩසටහන් සම්බන්ධව සියලු අංශ නියෝජනය වන පරිදි (රංගනය, කලා අධ්‍යක්‍ෂණය, නිෂ්පාදන කළමනාකරණය, කැමරාකරණය, වේෂ නිරූපණය, පිටපත් රචනය, අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය) නවකයන් දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින් ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ දක්‍ෂ ශිල්පීන් සමඟ එක්‌ව රට වටා වැඩමුළු පවත්වා අනාගත කලා ලොවට වැඩදායී පිරිසක්‌ බිහිකරලීම තම අරමුණ බව පැවසු ග්‍රැන්සන්ඩ් ද සිල්වා කලාකරුවාණන්ගේ උතුම් අරමුණු ඉටුවන හෙට දිනකට සුබ පතන අපි, එය කලාවේ අභිවෘද්ධියට යහපත් ආයෝජනයක්‌ වනු ඇතැයි ද උපකල්පනය කරමු.

සුජීව තත්සර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.