සංස්‌කරණය : නාරද නිශ්ශංක

මේත් චිත්‍රපටියක්‌ පිළිබඳ කතාවත්

දෙමළ දේශයේම පරදේසීන් වූ 
දෙමළ ජනතාව - පරදේශී


තමිල්නාඩු දේශපාලනයේ ප්‍රධානතම සාධකයක්‌
බවට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පත්වූයේ සිරිමා-ශාස්‌ත්‍රී ගිවිසුමෙන් අනතුරුව අප රටේ දෙමළ ජනතාව තමිල්නාඩුවට යෑවීම ආරම්භවීමත් සමගය. ඉන්දියානු මධ්‍යම රජය විසින් ලංකා රජයත් සමග ඇති කරගත් මේ ගිවිසුමට එදා තමිල්නාඩු දේශපාලනඥයන් එතරම් ප්‍රසාදයක්‌ දැක්‌වූයේ නැත. මේ ගිවිසුම ක්‍රියාවට නැංවීමත් සමගම ලංකාවේ තේ වතුවල දුක්‌විඳින ඉන්දියානු සම්භවයක්‌ සහිත දෙමළ ජනතාව ගැන තමිල්නාඩු දෙමළ ජනතාව එක්‌තරා ආකාරයක අප්‍රසාදයක්‌ පළ කළ බව ලංකාවේ දෙමළ ජනතාවට හොඳින් මතකය. ගිවිසුම ප්‍රකාරව තමිල්නාඩුවට ලංකාවෙන් පිටත් කළ දෙමළ ජනතාවගේ සංඛ්‍යාව ලක්‍ෂ හතරකටත් වැඩිය. මේ අය වැඩි වශයෙන් පදිංචි වූයේ කිරුච්චි, ඊරෝඩු, නාමක්‌කල්, තංජාවූර් යන ප්‍රදේශවලය. මේ ලාංකික (ලංකාවේ උපත ලැබූ) දෙමළ ජනයා "පරදේසීන්" වශයෙන් හැඳින්වීමට ඉන්දියානුවෝ අමතක නොකළහ. සංස්‌කෘතික උත්සවවලදී, මංගල උත්සවවලදී අපේ රටේ සිට ගිය වතු කම්කරුවන් කොන් කෙරිණි. මේ නිසා ඉන්දියාවට පදිංචියට ගිය දෙමළ ජනතාව ශ්‍රී ලංකාව කෙරෙහි කෝපයෙන් සිටියෝය. පසු කාලයේදී කොටි හිතවාදීන් වූයේ මේ අයගේ ඊළඟ පරපුරයි. ගිය වසරේදී තිරුච්චිහිදී ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහර දුන්නේත් මේ අයයි. තමන් පිටමං කළ තමන් උපන් රට කෙරෙහි වෛරයෙන් පසුවූ මේ අය තමිල්නාඩු දේශපාලනඥයන්ට බොහෝ වැදගත්ය.

වතු කම්කරුවන් ගැන ඉහත සඳහන් කළේ මේ දිනවල ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරෙන තේ වතු කම්කරුවන් පිළිබඳ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනයවීම නිසාය. බාලා නමැති අධ්‍යක්‍ෂවරයා විසින් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය "පරදේශී" ය. සමාජයේ පීඩනයට පත් ජනතාව තේමා කරගනිමින් චිත්‍රපට නිපදවන බාලාගේ "පරදේශී" තමිල්නාඩු චිත්‍රපට විචාරකයන්ගේ අවධානයට ලක්‌වූ ප්‍රේක්‍ෂකයන් අවදි කරවූ චිත්‍රපටයකි. ඉහත සඳහන් ලංකාවේ උපත ලබා ඉන්දියාවට ගිය තේවතු කම්කරුවන් නොහොත් "පරදේශීන්" ගැන යළි කතාබහ ඇති කරවීමට සමත්වූ චිත්‍රපටයකි.

ලංකාවේ තේ වතුවල දුක්‌ විඳින දෙමළ ජනතාව පිළිබඳව ඉන්දියාවේ සාහිත්‍යකරුවන් නවකතා, කෙටිකතා නිර්මාණය කිරීමට එතරම් උනන්දුවක්‌ දැක්‌වූයේ නැත. ඒ ඉන්දියාවට පැමිණි "පරදේශීන්" ගැන යහපත් ආකල්පයක්‌ නොදැක්‌වූ නිසා විය යුතුය.

ලංකාවේ සිට ඉන්දියාවට ගිය දෙමළ වතු කම්කරුවන්ට සාහිත්‍ය ගැන දැනුමක්‌ නොමැති නිසා ඔවුන් විඳි දුක්‌ගැහැට - සුදු අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑම් ගැන ලියා පළ කිරීමට නොහැකි තත්ත්වයක්‌ තිබුණ ද දෙතුන් දෙනෙක්‌ කෘති කීපයක්‌ ලියා පළ කර තිබිණි. මේ කෘති කීපයෙන් වුවද පළ කෙරුණේ ශ්‍රී ලංකාවේ පාලකයන්ට හා සිංහල ජනතාවට වෛරී සහගත ආකල්පයකි. මේ නිසා තේවතු කම්කරුවන් සුදු වතු හිමියන්ගේ පීඩනයට ලක්‌වීම යටපත් වූ කාරණයක්‌ව පැවතිණි. තමිල්නාඩු සිනමාකරුවන් පවා තේ වතු යායක දර්ශන (ඉන්දියාවේම පිහිටි) සිය නිර්මාණයකට යොදාගත්තේ ගීතයක පසුබිමකට හෝ ප්‍රධාන නළුවකුගේ ධනවත්භාවය පළ කිරීමටයි. මෙවන් පසුබිමක්‌ දෙමළ සිනමාවේ පවතිද්දී "පරදේශී" චිත්‍රපටය නිපදවීමට බාලා නම් අධ්‍යක්‍ෂවරයා පියවර ගැනීම එක්‌තරා ආකාරයක අභියෝගයකි. චිත්‍රපටයට පසුබිම් වන තේවතු යායන් ද තමිල්නාඩුවේම වීම වඩාත් විශේෂත්වයකි. එයට හේතු වූයේ "පරදේශී" චිත්‍රපට කතාව ඉංගී්‍රසි කතාවක්‌ වූ RED ඔEA දෙමළ භාෂාවට පරිවර්තනයවීමෙන් නිපදවීමය. Red Tea කෘතියේ කතුවරයා වෛද්‍ය පී. එච්. ඩැනියෙල්ය. ඔහු මේ කතාව ලියා ඇත්තේ සත්‍ය අත්දැකීම් ලැබූවන්ගේ තොරතුරු අනුවයි. වර්ෂ 1920-1930 කාලයේ තේ වගාව ඉන්දියාවේ කෙරෙද්දී සිදුවූ සත්‍ය සිදුවීම් මේ කතාවට පාදක වී ඇත. වෛද්‍ය ඩැනියෙල් වර්ෂ 1941 සිට 1965 දක්‌වා වසර විසිපහක්‌ තේවතු යායන්හි වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇත. සුදු ජාතිකයන් තේ වගාව ආරම්භයේදී කුලීකරුවන් ලෙස ස්‌වදේශික දෙමළ ගැමියන් යොදාගෙන ඔවුන් සූරා කෑ අන්දම කදිමට නිරූපණය කිරීමට "පරදේශී" සිනමාකරුවා දැරූ උත්සාහ සාර්ථක වී ඇත.

චිත්‍රපටයට පසුබිම් වන්නේ වර්ෂ 1939 යි. චෙන්නායි කලාපයේ සාලූර් නමැති නොදියුණු ගම්මානය කතාවේ ආරම්භයයි. නියඟයෙන් පීඩා විඳින මේ ගම්මානයේ ජනතාව ජීවත්වීමට ගන්නා උත්සාහය චිත්‍රපටයේ අඳුරු වර්ණයෙන් වඩා හොඳින් ඉස්‌මතු කරවයි. මව-පියා නැති රාසා (අදර්වා) මිත්තනිය සෙවණේ ජීවත්වන තරුණයෙකි. ගමේ පැලක්‌ පාසා යමින්, වැඩ කරමින් ගමේ විශේෂ අවස්‌ථාවන් අණ බෙරයක්‌ ගසා පවසමින් හාල් හෝ ධාන්‍ය හෝ සම්මාදම් කරමින් ජීවත් වෙයි. එක්‌ අවස්‌ථාවකදී ඔහු විශාල දර ගොඩක්‌ පළා දැමුවද කඩකරුවෙක්‌ ඔහුට කන්නටවත් නොදී කුලියවත් නොදී එළවා දමයි.

ගමේ විවාහ මංගල්‍යයක්‌ පැවැත්වෙද්දී සියලු දෙනාම දැඩි උනන්දුවක්‌ දක්‌වති. මංගල්‍යය ගමේ සැමටම ඉතා සතුටුදායක අවස්‌ථාවකි. ඒ ඔවුනට බත් කෑමට ලැබෙන බැවිනි. මංගල තැල්ල පළඳවන අවස්‌ථාව උදාවෙද්දී රාසාගේ ලොකු තාත්තා හදිසියේම මියයයි. එහෙත් ඒ මරණය රහසක්‌ ලෙස තබාගන්නා ලෙසට උපදෙස්‌ දෙන්නී රාසාගේ ලොකු අම්මාමය. ඒ අවමඟුල නිසා මංගල උත්සවයේ "බත්" නොලැබී යතැයි හැඟීමෙනි. ගමේ සියලුදෙනාම මරණය දැනගෙන එය රහසක්‌ව තබාගෙන මංගල බත භුක්‌ති විඳී. රාසාට මෙය රහසක්‌ වන අතර ඔහුට කෑම නොදීමට ද සැලසුම් කෙරේ. තමා කුසගින්නේ තැබීමත් ලොකු තාත්තාට වූයේ කුමක්‌දැයි නොදැන සිටීමත්, ලොකු තාත්තා නොසලකා මංගල්‍යය පැවැත්වීමත් නිසා ශෝකයට හා කෝපයට පත්වන රාසා වනයට ගොස්‌ නොනවත්වාම බෙරය වයන්නේ ආවේස වූවකු පරිද්දෙනි. ඔහු අස්‌වසන්නී ඔහුට පෙම් කරන අංගම්මා (වේදිකා) නම් තරුණියයි. මේ අවස්‌ථාවේදී ඔහුගේ ප්‍රේමය ආරම්භ වී ඔවුහු අඹු-සැමියන් බවට ද බැඳෙති. මේ සිදුවීම සාම්ප්‍රදායික දෙමළ සිනමාවේ ප්‍රේම ප්‍රකාශනයට පටහැනිව යොදා ගැනීමකි.

අංගම්මාගේ පාර්ශ්වයෙන් රාසාට විරෝධය එල්ල වුවද අංගම්මා රාසා නිසා ගැබ්ගත් බව නොදත්තේය.

ගමේ දිළින්දන් රවටා සුදු වතු හිමියන්ට අලෙවි කිරීමට කංකානම ගමට පැමිණීමෙන් පසු චිත්‍රපටය වෙනත් දිශාවකට හැරෙයි. රාසා ඇතුළු ගැමියන් විශාල පිරිසක්‌ ජීවත්වීමට රැකියා කිරීමට ඉන්දියාවේම තවත් පැත්තකට කැඳවාගෙන යැමට කංකානම සමත් වේ. ගැමියන්ගේ ඇඟිලි සලකුණ හිස්‌ කොලයකට ලබාගෙන සුළු මුදලක්‌ දෙන කංකානම් ඔවුන්ට යහපතක්‌ කිරීමට කැඳවාගෙන යන බව පවසයි. වතු කම්කරුවන් ලෙස වැඩ කරද්දී රාසා ඇතුළු ගම්වැසියන්ට තමන් මුළා වූ බව අවබෝධ වේ. සුද්දාගේ පාලනයට නතුව කංකානම ඇතුළු තම වර්ගයාගේම අත්අඩංගුවේ සිටිමින් වහලුන් බවට ඔවුහු පත්වෙති. ගත් ණය හිලවු කිරීමට වසර ගණනාවක්‌ කුලියක්‌ නැතිව වැඩ කිරීමටත් ඇහැට කනට පේන කාන්තාවන් සුද්දාගේ ලිංගික සංතර්පනයට යටවීමටත් සිදුවේ.

මේ වධ හිංසාවලින් මිදී පලා යැමට තැත් කරන රාසා, කංකානමගේ සගයන්ට හසුවේ. ඔහුගේ පාදයේ නහරයක්‌ සිඳ දැමීමෙන් පැන යැමට නොහැකි තත්ත්වයකට පත්කරයි. මේ අතර වතු යායට වෛද්‍යවරයෙක්‌ පැමිණෙයි. දෙමළ ජාතිකයෙක්‌ වුවද ඔහුගේ බිරිඳ සුදු කාන්තාවකි. මැදිවිය ඉක්‌මවූ මේ වෛද්‍යවරිය වතු කම්කරුවන්ගේ අපිරිසිදු භාවයෙන් ගොඩ ඒමේ මග කිතුනු දහම වැළඳ ගැනීම බව හඟවයි. සුදු කාන්තාවද කුරුසිය සලකුණු කරමින් ආගමට හරවා ගැනීමට උනන්දුවක්‌ දක්‌වයි. දෙවියන් වහන්සේ ලෙඩ සුවකරන බව හඟවයි. වෛද්‍යවරයා වතුකරයේ පිරිසිදුකම ඇති කිරීමට පියවරක්‌ ගන්නා බවක්‌ නොපෙන්වන අතර වෛද්‍ය ප්‍රතිකාර කරන්නේද නැත. වසංගත රෝගවලින් වතු කම්කරු පිරිස්‌ විශාල වශයෙන් මිය යයි. මෙය ආදේශ කරන්නට තවත් ගැමියන් රැගෙන ඒමට කංකානම පියවර ගනී. මේ වන විට දරුවකු ද ලැබ සිටි අංගම්මාත් මේ පිරිස අතර සිටී.

රාසා ගලක්‌ මත නැඟී තමන්ට වූ අසාධාරණය ගැන මහ හඬින් විලාප දෙන අවස්‌ථාවේදී අංගම්මා දරුවාත් රැගෙන එයි. රාසාත් ඔහු විසින් ඇති දැඩි කරනු ලබන දැරියත් අංගම්මාත් දරුවාත් එකට මුණගැසෙති. රාසා විලාප නගන්නේ තමන් වැටුණු නරකාදියට තම බිරිඳත් දරුවාත් වැටීම ගැන වේදනාවෙනි. චිත්‍රපටය එයින් අවසන් වුවත්, පොදුවේ දෙමළ ජනතාව තුළ දැඩි කම්පනයක්‌ ඒ අවසන් රූප රාමු විසින් ඇතිකරවනු ලබයි.

පරදේශී චිත්‍රපටය නැරඹීමෙන් පසු තේ බීම එපා වූ බව තේ වතු කම්කරුවන්ගේ දුක්‌ ගැහැට ගැන නොදත් බොහෝ දෙනා පැවසූ බව තමිල්නාඩු සිනමා සඟරා වාර්තා කර තිබුණි. ආගම් ප්‍රචාරකවාදියකු ලෙස චිත්‍රපටයේ පෙන්නුම් කරන්නේ කතාව ලියූ වෛද්‍යවරයා වූ ඩැනියෙල්ය. ඔහු හුදු ආගම් ප්‍රචාරකයකු ලෙස පෙන්නුම් කිරීම ගැන බොහෝ සිනමා විචාරකයෝ චිත්‍රපට අධ්‍යක්‍ෂ බාලාට චෝදනා කර තිබිණි. RED TEA කෘතිය "රුධිර තේ වතුර" (කුරුදි කේතීර්) යන නමින් දෙමළ භාෂාවට පරිවර්තනය කොට පළවූයේ 1990 ගණන්වලදීය. එහෙත් එය වැඩි දෙනෙකුගේ අවධානයට ලක්‌වූ නොවූ බව පැවසේ. ඉන්පසු මුරුගවේල් නමැති ලේඛකයා "ගිනිගෙන දැවෙන පිනිවනය" (එපියුම් පනිකාඩු) පරිවර්තනය කර ඇත. මේ කතාව කියවනවිට ගල් හදවතක්‌ වුවද දියවනු ඇතැ" යි ඉන්දියානු සිනමා පුවත්පත් වාර්තාකර තිබුණි. සිනමාවට නැඟීමට ඉතා අපහසු කෘතියක්‌ ලෙස සැලකුණද චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ඒ බාධාව ජයගෙන ඇති බව ද එක්‌ විචාරකයෙක්‌ සඳහන් කළේ ගැමියන් දුෂ්කර ගමනකින් කැඳවාගෙන වතු වගා බිමකට රැගෙන යැම සිනමාවෙන් අපූරුවට විග්‍රහකර තිබීමත් ඊටම ගැලපෙන ආකාරයට වෛරමුත්තු ගී නිබන්ධකයා ලවා ගීතයක්‌ ලියවා තිබීමත් අගය කරමිනි.

පරදේශී චිත්‍රපටයේ සාලූර් රාසාගේ චරිතයට පණ පොවන අදර්වා මුරලිගේ රංගනය ඉතා උසස්‌ මට්‌ටමක ඇති බව සිනමා විචාරකයන්ගේ මතයයි.

ශ්‍රී ලංකාව කෙරෙහි තමිල්නාඩු දේශපාලනය දක්‌වන අයහපත් ආකල්පය පවතින පසුබිමක "පරදේශී" චිත්‍රපටය ලේකයේ වෙසෙන බහුතරයක්‌ දෙමළ ජනතාවගේ අවධානයට ලක්‌ව ඇත. ඉන්දියානුවන් ඉන්දියාවේදීම වහල්භාවයට පත්කොට දැඩි සූරාකෑමට ලක්‌වූ තේ වතු වගාව, ලංකාවේදී දෙමළවතු කම්කරුවන් යොදවා කරද්දී මීටත් වඩා කෲර අන්දමින් සිදුකරන්නට ඇත්දැයි විදේශගත දෙමළ ජනතාව විමසති.

අප රටේ වතු කම්කරුවන්ද බොරු කියා රවටා මෙහි ගෙන ආ ජනකොටසක්‌ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ පිරිස රවටා ඔවුන්ට වධහිංසා කළේ සිංහල ජනතාව නොවේ. ඔවුන් මෙහි ගෙන ආ කංකානම්ලාය. සත්‍යය එයයි. පසුව වතුකම්කරුවන්ට විමුක්‌තිය ලබා දීමට පෙරමුණගත් වෘත්තීය සංගම් නායකයන්ද එකී කංකානම්ලාට දෙවැනි නොවූ බව මේ වන විට වතුකම්කරු ප්‍රජාවට අවබෝධ වී ඇත. එදා කංකානම්ලා තම වර්ගයාට කළ ෙද්‍රdaහිකම්, ලිංගික සූරාකෑම්, රන්කාසි ඉපැයූ ආකාර ගැන ලියන්නට අපේ රටේ දෙමළ සාහිත්‍යකරුවන් උනන්දු නොවූ පසුබිමකදී මාතලේ මරලන්බත් නම් ප්‍රවීණ ලේඛකයා ඒ කාර්යයට අත ගැසූ බව මෙහිලා පැවසිය යුතුය. රාජය සම්මාන දිනූ ඔහුගේ කොඩිච්ෙච්ලෙයි කෙටිකතා සංග්‍රහය හා පිල්ලෙයාර් සුළි කෙටි කතා සංග්‍රහය (සිංහලානුවාදය - පෙරියතම්බිගේ තිත් එළුවා" හොඳම උදාහරණ වේ.

"පරදේශී" චිත්‍රපටය තිරගතවීමෙන් පසු තමිල්නාඩුවේ දෙමළ ලේඛකයන් ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන් තේමාකරගත් නවකතා, කෙටිකතා ලිවීමට උනන්දුවක්‌ දක්‌වන බවද සඳහන් කළ යුතුයි. මේ චිත්‍රපටය රූගත කෙරෙද්දීම තමිල්නාඩුවේ එක්‌ ප්‍රවීණ ලේඛකයකු මේ ලියුම්කරු හා ඒ සම්බන්ධව කතා කළේය. ඒ ගැන හැදැරීමට ඔහු මෙහි පැමිණි දින කීපයක්‌ වතුකරයේ සංචාරයකොට ගියේය.

තම නෑ සියන්ගේ දරු පරපුර තමිල්නාඩුවට පැමිණිවිට "පරදේසීන්" යෑයි නිග්‍රහ කළ තමිල්නාඩු දෙමළ ජනතාවට තමන් ගැනම ලඡ්ජාවීමට හේතු කාරක වූ "පරදේශී" චිත්‍රපටය අප රටේ දෙමළ මාධ්‍ය ක්‍ෂේත්‍රයේද කතාබහට ලක්‌ව ඇති බව සඳහන් කළ යුතුය. සිංහල ජනතාවද නැරඹියම යුතුම චිත්‍රපටයකි. ඕනෑම සී. ඩී. තැටි කඩයකින් ඉතා සුළු මුදලකට දැන් මේ චිත්‍රපටය ලබාගත හැකිය. සිංහල උපසිරැසිද යොදා ඇත.

(තොරතුරු හා ඡායාරූප සපයා දුන් මාධ්‍යවේදී කේ. පොන්නුදුරෙයි හා මේමන් කවි මිත්‍රයන්ට ස්‌තුතියි)

උපාලි ලීලාරත්න

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.