තැලිය යුත්තා තැලීම

විකෘති කාමාතුරයකුගේ දැත්වලට හසු වූ පුංචි පුතකු මරණයට පත්වීමේ මූසල ආරංචිය නිසා ඊයේ (25 දා) "දිවයින" කියෑවූ පාඨකයන්ගේ හදවත් සෝකයෙන් මුසපත් වූ බව අපි විශ්වාස කරමු. කෑගල්ලේ වළගම්බා විදුහලේ දෙවැනි වසරේ උගනිමින් සිටි මේ නොදරුවා මරණ ලද්දේ පැහැරගෙන ගොස්‌, ඔහුගේ පාසල් නිල ඇඳුමේ ටයි පටියෙන් ගෙල සිර කිරීමෙනි. එම අවස්‌ථාවේ දී දරුවාගේ ඇස්‌ බියෙන් ද සෝකයෙන් ද වේදනාවෙන් ද දිලිසෙමින් සාහසිකයා වෙතින් අනුකම්පාව යදින්නට ඇත. එහෙත් තමාට එරෙහි වන සාක්‍ෂිය විනාශ කර දැමීමේ අරමුණ සාහසිකයා තුළ බුර බුරා නැඟෙන්නට ඇත. අවසාන වශයෙන් අපරාධය සම්බන්ධයෙන් සැක පිට, විකෘති ආශාවෙන් පසු වීමේ ඉතිහාසයක්‌ ඇති විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉදිරියේදී ඔහුට සියලු සත්කාර කර චුට්‌ටක්‌ කනින් ඇද සොලවා, ටොකු දෙකක්‌ දී ඇත්ත දැන ගැනීම පොලිසියේ යුතුකම සහ වගකීම ය.

තමා අතින් අපහරණය වන දරුවා හෝ කාන්තාව ඝාතනය කිරීම අපරාධකරුවන් වැඩි දෙනාගේ සිරිත ය. දරුවා හෝ කාන්තාවට අපරාධයක්‌ කිරීමේ අදහස ඉටුකර ගැනීමට නො හැකි වන අවස්‌ථාවකදී පවා එම ගොදුර ඝාතනය කිරීම අපරාධකරුවන් වැඩි දෙනා විසින් කරනු ලබන්නේ සාක්‍ෂි මකා දමනු පිණිස ය. ඝාතනයට ලක්‌ වූ පාසල් දරුවා පහළ මධ්‍යම පාන්තික දරුවෙකි. අපරාධකරුවකු බොහෝ විට අපරාධයක්‌ කිරීම සඳහා ගොදුර බවට පත් කර ගන්නේ පහළ මධ්‍යම පන්තියේ හෝ දිළිඳු පන්තියේ දරුවන් ය. එයට හේතුව, කිසියම් හඬක්‌ නැඟීම සඳහා අවශ්‍ය ආර්ථික සවිය ඔවුන්ට නොමැති වීමයි.

දරුවන් කාම අපරාධවලට ලක්‌ කිරීම පසුගිය දින කිහිපය පුරා ඉන්දියාවෙන් ද නිතර වාර්තා විය. එසේ වාර්තා වූ අවසන් සිද්ධිය පස්‌ හැවිරිදි දැරියක සම්බන්ධයෙනි. අපරාධකරු දැරිය කෙළෙසා ඇගේ හිසට බරපතළ තුවාල සිදු කර තිබිණි. එය මාරක අරමුණක්‌ සපුරාගනු පිණිස කරන ලද්දකි. එහෙත් දැරිය මිය ගියේ නැත. අත්අඩංගුවට පත් වූ සැකකරු පොලිසිය විසින් ගිලන් රියකට පටවන ආකාරය විදේශීය රූපවාහිනි චැනල මගින් ප්‍රචාරය කරනු ලැබීය. එම කාරණයේදී ඉන්දීය පොලිසිය ක්‍රියා කළ ආකාරයට අපි හිස නමා ආචාර කරමු. මෙබඳු අපරාධකරුවන් ගෙන යා යුත්තේ ගිලන් රියවලින් නොව අවමංගල රථවලිනි. ඉන්දීය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන්ගෙන් පහළ ශ්‍රේණිවලට ගිනි අවි දැරීම තහනම් ය. පහළ නිලධාරීන් අත ඇත්තේ අඩි 6 ක්‌ පමණ දිග පොල්ලකි. ඔවුහු එමගින් ගන්නා වැඩ පිස්‌තෝල සියයකින් ගන්නා වැඩවලට වඩා බලගතු ය.

කාම අපරාධකරුවකු කිසියම් පළාතක සිටින විට ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටවල පොලිසිය ඒ ගැන පළාත්වාසී ජනයා දැනුවත් කරනු ලැබේ. කහවත්තේ සිද්ධිය මෙන් 'වැඩේ ෂේප් කරන න්‍යායන්' ඒ රටවල නැත. අද වන විට කහවත්තේ දී ඝාතනය කෙරුණු සිsයලු දෙනා, සිය දිවි නසාගත් අයගේ තත්ත්වයට පත් කිරීමට ඒ ගැන පරීක්‍ෂණ කළ විශිෂ්ට පොලිස්‌ ලොකු තැන වූ වාස්‌ ගුණවර්ධනට හැකි විය. එහෙත් ඊයේ 'දිවයින' මුල් පුවතට සම්බන්ධ දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ෂේප්වාදී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට පොලිසියට අවශ්‍ය නැත. අපරාධකරුවන්ගේ ඇට (අස්‌ථි) තලා හෝ අපරාධෝච්ඡාරණයන් ලබා ගැනීම පොලිසියේ වගකීම ය. කහවත්තේ දී පැහැරහළ යුතුකම කෑගල්ලේදී ද පැහැර හැරියොත් පොලිසියේ ඇට (අස්‌ථි) තැලීමට තරම් ක්‍රෝධයක්‌ ජනයා තුළ ඇති විය හැකි ය. තැලිය යුත්තා තැලිය යුතුම ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.