ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනය අදයි

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 26 වැනි දිනය ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය එම නමින් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ 1970 අප්‍රේල් 26 වන දින දීය. ක්‍රිස්‌තු වර්ෂ 2000 සිට එම දිනය එනම් අප්‍රේල් 26 ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනය ලෙස නම් කෙරිණි. මෙවැනි දිනයක්‌ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ බුද්ධිමය දේපළ විෂය පිළිබඳව සාමාජික රටවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට සාමාජික රාජ්‍ය උනන්දු කරවීමටයි. සෑම වසරකම මෙම දිනය වෙනුවෙන් තේමාවක්‌ ප්‍රකාශයට පත් කරනු ලබන අතර මෙම වසරේ තේමාව වනුයේ "නිර්මාණකරණය ඊළඟ පරම්පරාවට?" යන්නයි.

පසුගිය සියවස තුළ විද්‍යා තාක්‍ෂණික සහ කාර්මික ක්‍ෂේත්‍රවල විප්ලවීය වෙනසක්‌ සිදුවීම ආරම්භ විය. එම වෙනස තවමත් සිදුවෙමින් පවත්නේය. පසුගිය සියවස තුළ විවිධ මාදිලියේ භාණ්‌ඩ නිෂ්පාදනය විය. ගොනුන් බැඳි කරත්ත වෙනුවට අධික වේගයෙන් ගමන් කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථ බිහිවිය. කෙටි කාලයක්‌ තුළ රටකින් රටකට මගීන් ගෙන යා හැකි ගුවන් යානා බිහිවිය. සුව කළ නොහැකි රෝග ලෙස සැලකුණු ක්‍ෂය රෝගය, ලාදුරු වැනි රෝගවලට ප්‍රතිකාර ක්‍රම සොයා ගැනිණ. සාහිත්‍ය සහ කලා නිර්මාණ අසීමිත ප්‍රේක්‍ෂක සහ ශ්‍රාවක පිරිසක්‌ අතරට ගෙනයා හැකි වන පරිදි ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය විය. 19 වන සියවසේ වාසය කළ තැනැත්තෙකු වර්තමාන ලෝකයට පැමිණියහොත් ලෝකයේ සිදුව ඇති වෙනස දැක අන්දමන්ද වනු ඇති බවට සැකයක්‌ නැත.

විසිවන සියවසේ දෙවන අඩ සියවස තුළ විද්‍යා හා තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ ආරම්භ වූ විප්ලවීය පරිවර්තනය වඩා වේගවත් වන්නේ 20 වන සියවසේ අවසාන දශක දෙකක කාලය තුළ සහ 21 වන සියවසේ මුල් දශකය එනම් වර්තමානයේයි. දැනටමත් සොයාගෙන ඇති තාක්‍ෂණික මෙවලම් වඩා කාර්යක්‍ෂම සහ පහසුවෙන් පරිහරණය කිරීමට හැකිවන ආකාරයේ වෙනස්‌කම් ඇති කිරීමට වර්තමාන නිර්මාණකරුවෝ වෙහෙස වෙති. මින් දශක තුනකට පමණ පෙර කිලෝ ගණනක්‌ බර ජංගම දුරකථනය මේ වන විට සාක්‌කුවේ දමා ගෙන යා හැකි සරල උපකරණයක්‌ බවට පත්ව ඇත. පසුගිය සියවසේ දුරකථන රැහැන් ඇදීමට වැයකළ ධනය සහ ශ්‍රමය අද අනවශ්‍ය දෙයක්‌ බවට පත්ව ඇත. නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර ඇත. ඒවායින් අපේ දෛනික කටයුතු වඩා පහසු කර ඇත.

මේ සියල්ලෙහිම අරමුණ වන්නේ මිනිස්‌ ජීවිතය වඩා පහසුවෙන් සහ සතුටින් ගත කිරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදීමයි. මෙතෙක්‌ විද්‍යා ප්‍රබන්ධවලට සීමාවූ බොහෝ දේ අද වන විට යථාර්ථයක්‌ බවට පත්ව ඇත.

ලෝකය සිසාරා නිර්මාණකරණය නම් වූ සැඩ සුළඟ හමායද්දී අපි පමණක්‌ රටක්‌ වශයෙන් පසුගාමී තත්ත්වයක පසුවෙමු. ඊට හේතු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනය උචිතම අවස්‌ථාවක්‌ සේ සලකමි.

නව නිර්මාණ බිහිකිරීමට නම් පර්යේෂණ සිදුකළ යුතු වෙයි. සමහර පර්යේෂණ ප්‍රතිඵලදායක විය හැකි අතර එහි ප්‍රතිඵල ඇසුරෙන් නව නිර්මාණ බිහි කිරීමටද හැකිවනු ඇත. එහෙත් සෑම පර්යේෂණයක්‌ම සාර්ථක නොවේ. එහෙත් නව නිර්මාණ බිහිකිරීමට නම් අවදානම නොතකා පර්යේෂණ සිදු කිරීම අනිවාර්ය වෙයි.

මෙරට පර්යේෂණවල යෙදී සිටින විද්‍යාර්ථීන්ට ඒ සඳහා අවශ්‍ය අවම පහසුකමක්‌වත් නොසැපයෙන බව රහසක්‌ නොවේ. පර්යේෂණාගාර, රසායනාගාර පහසුකම් ඉතා සීමිතය. පර්යේෂකයකුට එම කාර්යයේ පූර්ණකාලීනව යෙදී සිටීමට හැකියාවක්‌ නැත. මන්ද යත් ඔහු ජීවත්වීම සඳහා වෙනත් වෘත්තියක යෙදිය යුතු බැවිනි. සමහර පර්යේෂණ ආයතනවල වගකිව යුතු තනතුරුවලට පත්කර ඇත්තේ දේශපාලන හිතවතුන්ය. ඔවුන් දන්නා පර්යේෂණයක්‌ නැත. මේ නිසා සැබෑ පර්යේෂකයෝ අධෛර්යයට සහ කලකිරීමට පත්ව සිටිති. පර්යේෂණ නිබන්ධ සාකච්ඡාවලට බඳුන් කරන අවස්‌ථා විරලය. දැඩි වෙහෙසක්‌ දරා සිදුකරන පර්යේෂණයක ප්‍රතිඵල මහජනතාව අතරට ගෙනයැම සඳහාද පර්යේෂණය කිරීමට දැරූ වෙහෙස තරම් වෙහෙසක්‌ දැරිය යුතු වේ. මේ නිසා පර්යේෂකයන්ට පර්යේෂණ කිරීම එපා වන තැනට කරුණු යෙදී ඇත.

පර්යේෂණ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් නොමැතිවීම තවත් බරපතළ ගැටලුවකි. රාජ්‍ය ආයතනයක සිදු කරන පර්යේෂණයක්‌ අසාර්ථක වුවහොත් විගණන නිලධාරීන්ට උත්තර බැඳීමට සිදුවේ. පර්යේෂණ සඳහා වැය කරන සම්පත් ආයෝජනයක්‌ ලෙස නොව මුදල් අපතේ යෑවීමක්‌ ලෙස සලකන රටක නව නිර්මාණ බිහිවන්නේ කෙසේද?

කෙසේ හෝ ස්‌වෝත්සාහයෙන් තම පුද්ගලික ධනය වැයකොට නිර්මාණයක්‌ බිහි කළද ඊට නිසි ඇගයීමක්‌ ලබාදීමේ වැඩ පිළිවෙළක්‌ නැත. නව නිර්මාණ සහ නිර්මාණකරුවන් හඳුන්වාදීමට මුද්‍රිත සහ විද්යුත් මාධ්‍යවලින් ලැබෙන අනුග්‍රහය ද ප්‍රමාණවත් මට්‌ටමක නැත. නව නිර්මාණ සහ නිර්මාණකරුවනට නීතිමය රැකවරණය සැලසීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නම් වෙනත් සංවර්ධිත රාජ්‍යයක්‌ මෙන් අපේ නීති පද්ධතියට ඇතුළත්ව ඇත. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් මේ සඳහා ප්‍රතිපාදන සලස්‌වා ඇත. එම පනතින් නිර්මාණ මංකොල්ලකරුවන්ට එරෙහිවද දැඩි නීති පනවා ඇත.

එහෙත් මේ නීති ප්‍රතිපාදන නොසලකා හැර ඇති බවට ඕනෑ තරම් නිදසුන් සපයා ගත හැකිය. සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයට අදාළ සරල නිදසුනකින් මෙම කාරණය පැහැදිලි කිරීමට අදහස්‌ කරන්නේ එය කාටත් පහසුවෙන් වටහා ගත හැකි බැවිනි. ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කරන ගීතයක නිර්මාතෘවරුන්ට එනම් සංගීතඥයාට සහ ගීත නිබන්ධකයාට සහ එය ඉදිරිපත් කරන ගායකයාට හෝ ගායිකාවට ගෙවිය යුතු ගෙවීම් පිළිබඳව රජයේ අතිවිශේෂ ගැසට්‌ පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් රාජ්‍ය මාධ්‍ය ආයතනවත් මේ නියමයන් පිළිපදින බවක්‌ නම් නොපෙනේ. නිර්මාණකරුවන්ගේ අයිතිය ලබාදීම කෙරෙහි කිසිදු උනන්දුවක්‌ නැත. කර්තෘ භාග ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්‌ නිවේදනය නිකම් කඩදාසියක්‌ බවට පත්ව ඇත.

එපමණක්‌ නොවේ. බුද්ධිමය දේපළ පනතින් නිර්මාණකරුවන්ට ලබාදී ඇති පරම අයිතිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරන අවස්‌ථාවන් පිළිබඳව සංගීත ක්‍ෂේත්‍රය ඇසුරෙන්ම නිදසුන් සපයා ගත හැකිය. පැරැණි ජනප්‍රිය ගීත එහි නිර්මාතෘවරයන්ගෙන් අවසර නොගෙන ගායනා කරවීම සහ ඒවට අතිවිශාල මුදල් ත්‍යාග පිරිනැමීම නිර්මාණකරුවන් අධෛර්යයට පත් කිරීමක්‌ නොවන්නේද? කුඩා ළමයින් යොදා ගනිමින් ඔවුන් ලවා පැරැණි ගීත ගායනා කරවා ඔවුන්ව අනුකාරකයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක වේ. ළමා අවදියේම අනුකරණය හුරු කර ඊට ඉහළ අගයක්‌ ලබාදුන් විට ඔවුන් වෙතින් නව නිර්මාණ බිහි නොවේ. අපේ ඊළඟ පරම්පරාවට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙවන් අවාසනාවන්ත තත්ත්වයකටයි. ළමයින්ගේ අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින රාජ්‍යායතන මෙම කාරණයේදී නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරති. ඒ ළමයින් අනුකාරකයන් බවට පත්වීම ඔවුනගේ නිල කටයුතුවලට අදාළ නොවන නිසාද?

නීති පැනවුවත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඉන් ඇති ඵලය කිම? අපේ රටේ නිර්මාණකරුවන් දිරි ගැන්වීම වෙනුවට අනුකාරකයන්ට අනුබලදීම සහ ඔවුන් අගය කිරීම නිර්මාණකරුවන් හෑල්ලු කිරීමකි.

ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනයේ මෙවර තේමාව අපේ රටට ඉතා වැදගත් වන්නේ මෙවන් පසුබිමක්‌ යටතේයි. ඊළඟ පරම්පරාවෙන්වත් නව නිර්මාණ බිහිකිරීමට සුදුසු පුද්ගලයන් බිහිකරන පරිසරයක්‌ ගොඩ නැගීම වර්තමාන පරම්පරාවෙන් ඉටුවිය යුතු ප්‍රමුඛ වගකීමකි.

බොබී ජී. බොතේජු
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.