පොලිසිය සමග ඇති වූ බහින්බස්‌වීමක්‌ අතරතුර
බුත්තල උප සභාපතිගේ හිසට ගල් වැදී රෝහලේ
පොලිසියේ දෙදෙනෙක්‌ද රෝහල්ගත කෙරෙති

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, සේපාල මහානාම, සියඹලාණ්‌ඩුව - ම. ප. තිලකසූරිය, මොනරාගල - නයන ඉහළගෙදර, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

 

තුවාල ලැබූ උප සභාපතිවරයා

බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිල් නානායක්‌කාර මහතා සහ ඔක්‌කම්පිටිය පොලිස්‌ මුරපොළේ පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු අතර පෙරේදා (24 වැනිදා) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප සභාපතිවරයා සහ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු රෝහල්ගත කර තිබේ.

මේ අවස්‌ථාවේදී එතැනට රොක්‌වූ පිරිස්‌ විසින් ගල්වලින් පහරදීම හේතුවෙන් උප සභාපතිගේ හිසට තුවාල සිදුවී ඇති බව ද පොලිසිය කියයි.

සිද්ධියෙන් හිසට තුවාල සිදුවූ බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිල් නානායක්‌කාර මහතා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේත් ඔක්‌කම්පිටිය පොලිස්‌ මුරපොළේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන මුණසිංහ හා අමරපාල යන මහත්වරු බුත්තල ප්‍රාදේශීය රෝහලේත් ප්‍රතිකාර ලබමින් පසුවෙති.

පෙරේදා රාත්‍රි 8.30 ට පමණ උප සභාපතිවරයා (හෙල්මට්‌) එකක්‌ නොමැති අයෙකු යතුරුපැදියේ පිටුපස තබාගෙන නගරය හරහා ගමන්කරද්දී යතුරුපැදිය නතර කරන ලෙස නගර මුර සංචාරයේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් සංඥ කර ඇත. යතුරුපැදිය නොනවත්වා ටික දුරක්‌ ගොස්‌ නැවත උප සභාපතිවරයා පැමිණ තිබේ. එහිදී උප සභාපතිවරයා පොලිස්‌ නිලධාරියකුගේ නිල කබායෙන් අල්ලා පහරදීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ආත්මාරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් පියවරගෙන තිබෙන බවත් එම ස්‌ථානයට රොක්‌වූ පිරිස්‌ ගල්වලින් පහරදී ඇති අතර එයින් උපසභාපතිවරයාගේ හිසට තුවාල සිදුවී ඇති බවත් පොලිස්‌ නිලධාරීහු පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිල් නානායක්‌කාර මහතා 'දිවයින'ට අදහස්‌ දක්‌වමින් මෙසේ කීය.

ගමේ මළගෙදරකට ගිහින් රාත්‍රි අටහමාරට විතර මම යතුරුපැදියෙන් ගෙදර එන අතරමගදී මග සිටි අයෙකු යතුරුපැදියේ නංවාගත්තා. ඔහුට හෙල්මට්‌ තිබුණේ නැහැ. ඔක්‌කම්පිටිය නගරය පසුකරගෙන එන විට පිටුපස සිටි අය කීවා කවුද ටෝච් එකක එළියෙන් අපට නතර වන්න කීවා කියා. ඊට පස්‌සේ මම යතුරුපැදිය හරවාගෙන පොලිස්‌ නිලධාරීන් සිටි තැනට ආවා. එවිට පොලිසිය ඇසුවා 'කෝ ඕයි හෙල්මට්‌' කියලා. ඒ සමග යතුරුපැදියේ සිටි අයට ගැහැව්වා.

මම බිමට බැහැලා හෙල්මට්‌ එක ගලවාගෙන රාලහාමි සමාවෙන්න අපි මළගෙදරක ගිහින් එන ගමන් කීවා. එහි සිටි අනෙක්‌ නිලධාරියා මගේ හෙල්මට්‌ එකත් යතුරුපැදියේ යතුරත් අරගෙන පොලිසිය පැත්තට දිව්වා. මම ඒ පසුපස ගියා. එවිට පොලිසියේ සිට පැමිණි සාජන්ට්‌ මහත්තයෙකුයි තවත් කීප දෙනෙකුයි මට පහරදීලා පිස්‌තෝලයෙන් ඔළුවට ඇන්නා. ඔළුවෙන් ලේ ගලන්න පටන් ගත්තා. පසුව අසල්වාසීන් මාව ඔක්‌කම්පිටිය රෝහලට රැගෙන ගියා. එතැනින් මොනරාගල රෝහලට මාරුකළා.

මොනරාගල නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, මොනරාගල පොලිස්‌ අධිකාරී ලයනල් ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට මොනරාගල සහකාර පොලිස්‌ අධිකාරී අශෝක විඡේරත්න මහතා සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.