පුත්තලම ප්‍රා. සභා සභාපති මාරක අනතුරින් මියයයි

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ, මාදම්පේ - කමල් ප්‍රියංකර,
මදුරන්කුලිය - ඇන්ටන් බෙනට්‌ රූපසිංහ


දිලූක්‌ සුසිර පතිරගේ මහතා

ඔහු ගිය කැබ්රිය දැදුරු ඔය අසලදී නවතා තිබූ ටිපර් රියක ගැටේ

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති දිලුක්‌ සුසිර පතිරගේ මහතා ඊයේ (25 වැනිදා) අලුයම සිදුවූ රිය අනතුරකින් මරුමුවට පත්වී ඇත.

පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයෙන් කොළඹ සිට මදුරන්කුලියේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී අලුයම 2.15 ට පමණ හලාවත දැදුරු ඔය පාලම ආසන්නයේදී නවතා තිබූ ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. එහිදී සභාපතිවරයාගේ හිස ටිපර් රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී මිය යන්නට ඇතැයි හලාවත පොලිස්‌ රථවාහන අංශය කියයි.

රිය පැදවූ රියෑදුරු සුජිත් කුමාර අප්පුහාමි මහතා සිද්ධියෙන් තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ දිලුක්‌ සුසිර පතිරගේ සභාපතිවරයා රෝහලට රැගෙන යන විටත් මියගොස්‌ සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි. ඔහුගේ වයස අවුරුදු 39 කි. දරුවන් සිවු දෙනකුගේ පියෙකු වන දිලුක්‌ සුසිර පතිරගේ මහතා දෙවතාවක්‌ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට පත් වූ එකම මන්ත්‍රීවරයා ය. දිවංගත ද. මු. දසනායක මහතාගේ සමයේ දේශපාලනයට පිවිසි ඒ මහතා පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජනතාව සමගත්, දිස්‌ත්‍රික්‌කයේ සියලු දේශපාලනඥයන් සමගත් මිත්‍රශීලීව කටයුතු කළ පුද්ගලයෙකි.

1974.01.21 වැනි දින මදුරන්කුලිය ග්‍රාමයේ එන්. ආර්. පතිරගේ හා ජෙනට්‌ ස්‌වර්ණා විඡේතුංග දෙපළගේ දෙටු පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු දිලුක්‌ සුසිර පතිරගේ මහතා මදුරන්කුලිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. සමෘද්ධි නිලධාරියකු සහ ජනවසම වතුපාලකවරයකු ලෙස සේවය කර ඇති ඒ මහතා ආර්. එම්. සුසාති සුරදි මහත්මියගේ සැමියා වන අතර දරුවන් සිවුදෙනකුගේ පියකුද වේ.

1990 ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ මහතා මදුරන්කුලිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ශාඛාවේ ප්‍රධාන ලේකම් හා 1996 සිට එම ශාඛාවේ ප්‍රධාන සභාපති ලෙසත් ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තරුණ බල මණ්‌ඩලයේ සභාපති ලෙසත්, පුත්තලම් දිස්‌ත්‍රික්‌ තරුණ කටයුතු ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.

2002 මැතිවරණයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස පුත්තලම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඒ මහතා පුත්තලම ප්‍රාදේශීය සභාවේ පස්‌වැනි සභාපතිවරයා ලෙස 2006 වසරේදී තේරී පත්විය. 2011 පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම මනාප ලැබූ ඔහු යළි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති පදවියට තේරී පත්වී තිබේ.

වයඹ පළාත් සභාපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලෙසත්, මදුරන්කුලිය ශ්‍රී සරණංකර විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපති ලෙසත්, මදුරන්කුලිය ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජයේ සභාපති ලෙසත් මේ දක්‌වා කටයුතු කර ඇත.

නිතරම සිනාමුසුq මුහුණින් ජනතාව අතර සිටින දිලුක්‌ සුසිර පතිරගේ මහතා ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර මිත්‍රශීලී අවංක කාර්යශූර පුද්ගලයකු ලෙස ජනාදරය දිනා සිටියේය.

ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ප්‍රධාන සංවිධායක සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ අවමංගල්‍ය උත්සව කමිටුව දිලුක්‌ සුසිර පතිරගේ මහතාගේ අවසන් කටයුතු ලබන 28 දා මදුරන්කුලියේදී සිදු කිරීමට තීරණය කර ඇත. ඊයේ සවස සිට ඒ මහතාගේ දේහය පුත්තලම කොළඹ පාර මදුරන්කුලිය සෙම්බැට්‌ටේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.