අවශ්‍ය තීරණය නොගත්තා නම්
දුම්රිය හෙළට යන්න තිබුණා

- ඔහියේ දී අනතුර වැළකූ රියෑදුරු කියයි

රිය අනතුරුවල කෙළවරක්‌ නැත. මේ අනතුරුවලින් මියෑදෙන සදාතනික රෝගීන් වන සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවේ. දුම්රිය අනතුරු ද වරින් වර වාර්තා වේ. දක්‍ෂ පළපුරුදු, දුම්රිය රියෑදුරකු පසුගියදා එවැනි දුම්රිය අනතුරක්‌ අන්තිම මොහොතේ බේරාගත්තේ ඔහියේදීය. මේ කතාව ඒ අනතුර හා අනතුර වළක්‌වාගත් දුම්රිය රියෑදුරා පිළිබඳවය.

ඔහු නමින් ජී. පී. එස්‌. එම්. පෙරේරාය. මංගල පෙරේරා කී සැණින් මේ කවුදැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ කොයි කවුරුත් හඳුනති.



මංගල පෙරේරා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්‌වුණේ මීට තිස්‌ වසරකට පෙරාතුවය. කාලයාගේ ඇවෑමෙන් මේ දුම්රිය රියදුරු, එම රැකියාවෙන් මහා අත්දැකීම් රැසක්‌ අත්වින්දේය.

ඒ අත්දැකීම් ඔහුට නොතිබෙන්නට පසුගිය අප්‍රේල් 11 වැනිදා බදුල්ල, මහනුවර දුම්රිය මාර්ගයේ ඔහියේදී දුම්රිය අනතුරක්‌ වී මහ විනාශයක්‌ වන්නට ඉඩ තිබුණි.

මංගල පෙරේරා ඒ කතාව ඔහුගේ වචනයෙන්ම අපට කිවේ මෙහෙමය.

එදා පොද වැස්‌සක්‌ තිබුණා. ඊට වඩා මීදුමෙන් දුම්රිය පාර පේන්නැති වෙන්න වැහිලා. මම මගීන් හා තෙල් ටැංකි සහිත දුම්රිය බාර ගත්තේ බණ්‌ඩාරවෙලින්. ඒ වන විට 1.10 ට විතර ඇති. ඔහියට දුම්රිය එන විට 3.35 පමණ වුණා. මාර්ග පරීක්‍ෂක ආර්. ආර්. ජයසේකර විසිල් කරලා පාර පැහැදිලියි කියලා සංඥ කළා.

දහනව වැනි බිං ගෙයෙන් දහඅට වැනි බිංගෙයට දුම්රිය ළංවෙමින් තිබුණා.

මට එක පාරටම දැඩි මීදුම අතරින් පාර හරහා යම් බාධකයක්‌ තියෙනවා කියලා දැනුණා.

මගෙ පළපුරුද්ද නිසාමයි මට ඒක දැනුණේ. මම හදිසි තිරිංග තද කළා. දුම්රිය නතර කරලා බලන කොට මීටර් තුනක්‌ පමණ දුරින් "මැල්ලොස්‌කා" කියන රූස්‌ස ගහක්‌ රේල් පාර දිගට වැටිලා.

මම ක්‍ෂණිකව අවශ්‍ය තීරණය නොගත්ත නම් දුම්රිය පහළට යන්න තිබුණා.

මම මේ වගේ තීරණාත්මක දුම්රිය අනතුරු හතරක්‌ පහක්‌ම බේරගෙන තියෙනවා. ඇත්තටම මට සතුටුයි. විශ්‍රාම යන්න ළංවෙලා තියෙන කාලෙක ඒ අත්දැකීම්වලින් ජීවිත ගණනක්‌ බේරගන්න ලැබුණු එක ගැන.

නියෝජ්‍ය ප්‍රවාහන අධිකාරි (ධාවන බල) ඒ. හේවාවිතාරණ, දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහත්වරු මට ප්‍රශංසා කළා. එදා විතරක්‌ නොවෙයි. මීට කලිනුත් මම මෙවැනි අනතුරු වළක්‌වා ගත්තා. බදුල්ල - කොළඹ වැනි මාර්ග වලට පළපුරුදු රියෑදුරන් යොදවන්නෙත් ඒකයි. මේ අනතුර වළක්‌වා ගන්න ලැබීම සතුටක්‌.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.