බදු කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න
- ඇමැති වාසුදේව නානායක්‌කාර

ආණ්‌ඩුව ජනතාවාදීව ගමන් කරවීම සඳහා අප මෙවර මැයි දිනයේදී කරුණු කිහිපයක්‌ යෝජනා කරන අතර, එම යෝජනා සඳහා මැයි දිනයේදී අලුත් බලයක්‌ එකතු කිරීමට අදහස්‌ කරන බවත් එහි ප්‍රධාන යෝජනාව ලෙස ආණ්‌ඩුවේ ආදායම් වැඩි කිරීම සඳහා ආණ්‌ඩුව විසින් පත් කළ බදු කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් සහ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා පවසයි.

මෙවර මැයි දිනය පිළිබඳ කරුණු දක්‌වමින් අමාත්‍යවරයා මේ අදහස්‌ පැවැසීය.

සමාජවාදී ජනතා පෙරමුණට අයත් දේශපාලන පක්‍ෂ සහ කම්කරු සංවිධාන ඒකාබද්ධව මැයි 01 වැනිදා කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් මෙවර මැයි දින පෙළපාලිය ආරම්භ කර උද්‍යාන පාර ඔස්‌සේ කිරුලපන ක්‍රීඩාංගණයට පැමිණ මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

බදු කොමිසම සම්බන්ධව ජනාධිපතිතුමාට වාර්තාවක්‌ ඉදිරිපත් කළා. රජයේ බදු වැඩිකර ගැනීම පිළිබඳ එහි නිර්දේශ තිබෙනවා. එය තවම එළි දැක්‌විලා නැහැ. එය එළිදැක්‌වීමට බල කරන මැයි දිනයක්‌ ලෙස අපි මෙවර මැයි දිනය යොදා ගන්නවා.

ශ්‍රමික ජනතා බලවේගය අද ජාත්‍යන්තර ප්‍රබල බලවේගයක්‌ බවට පත්වී තිබෙනවා. අද මෙම ශ්‍රමික බලවේග එකතු වෙලා තිබෙනවා. ඒ තමයි පරිසරවේදී බලවේගය හා කාන්තා බලවේගය. අර්බුදයට පත්වීගෙන යන අධිරාජ්‍යවාදී බලය තුළ කාන්තාවත්, පරිසරයත් අද විනාශ වෙමින් තිබෙන බව ඔවුන් අවබෝධ කරගෙන තියෙනවා. මේ සඳහා සානුකම්පිත වූ ජනතා බලවේග එකතු වෙමින් තියෙනවා. මැයි දිනය තුළදී මෙම අධිෂ්ඨානය මුවහත් වීම ඉතා වැදගත්. මේ සන්ධාන ආණ්‌ඩුව අධිරාජ්‍යවාදී, ධනපතිවාදී බලවේගවල අභිහෝග වලින් තර්ජන වලින් රැකගැනීම අපිට තිබෙන්නා වූ එක වගකීමක්‌. එය රැකගැනීමට ඇති පදනම තමයි සන්ධාන ආණ්‌ඩුවේ ජනතා පදනම වඩ වඩාත් ශක්‌තිමත් හා බලවත් කිරීම. එයට ඇති හොඳම ක්‍රියාමාර්ගය ආණ්‌ඩුව ජනතාවාදීව ගමන් කරවීම බවද නානායක්‌කාර මහතා කීවේය.

මේ රටේ නොයෙක්‌ මාදිලියේ ගනුදෙනු වෙනවා. ඉහළ තළයේ මුදල් ගනුදෙනු තුළින් සියයට 1 ක්‌ ආණ්‌ඩුවේ ආදායම් ලෙස එකතු කර ගත යුතුයි කියා අපි ආණ්‌ඩුවට බල කරනවා. මේ රටේ ආර්ථිකයේ මුදල් ගනුදෙනු අංශය තමයි ලොකුම අංශය. ඒ නිසා ලොකුම අංශයෙන් තමයි වැඩිම බදු ගන්න පුළුවන්. 2012 වර්ෂයේ රජයේ ආදායම් තත්ත්වය පහළට වැටිලා තියෙනවා. එය ඉතා බරපතළ කරුණක්‌. ඒ නිසා රජයේ ආදායම් වැඩිකර ගැනීම අත්‍යවශ්‍යයි. අපි මේ මතු කරන යෝජනා සන්නිවේදනය කරන්නේ මෙරටේ වැඩකරන ජනතාවටයි. වැඩකරන ජනතා බලවේග අතර මේ පිළිබඳ තියුණු, ප්‍රබල ක්‍රියාකාරී ජනමතයක්‌ ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. එය ප්‍රකාශ වීමත් සමඟම සන්ධාන ආණ්‌ඩුවට ජනතාවාදී තීන්දු මත ඉදිරියට ගමන් කරන්න සිදුවන බවද වාසුදේව නානායක්‌කාර මහතා තවදුරටත් කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.