ඉදිරි මෝසම් වැසිත් සමඟ
ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක්‌


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

ඉදිරි මෝසම් වැසිත් සමඟ ඩෙංගු රෝගය පැතිර යැමේ දැඩි අවදානමක්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවති.

මෙම වසරේ අප්‍රේල් 24 දා වනවිට ඩෙංගු රෝගීන් දස දහසකට වැඩි පිරිසක්‌ හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවැසුවාය.

කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්‌ත්‍රික්‌කවලින් රෝගීන් වැඩි පිරිසක්‌ මේ වනවිට හමුවී ඇත. මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 500 ක්‌ පමණ වාර්තාවන බවත් මෝසම් වැසි කාලයත් සමඟ සතියකට රෝගීන් පන්සියයකට වැඩි පිරිසක්‌ වාර්තාවීම ඉකුත් වසරවලදී නීරීක්‍ෂණය වූ බවද කීය.

ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යාමත් සමඟ රෝහල්වල තදබදයද උග්‍රවීම නිසා රෝගී සත්කාර සේවා සැපයීමේදී රෝහල්වල තදබදයක්‌ සිදුවිය හැකි යෑයිද අනාවරණය කළහ.

ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යැමත් සමඟ මරණ සංඛ්‍යාවද වර්ධනය විය හැකි බවත් ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්ව රෝගීන් බරපතළ ලෙස අවදානමකට ලක්‌ වන අවස්‌ථා ඇතිවිය හැකි යෑයිද අනතුරු අඟවති.

පවතින වැසිත් සමඟ පරිසරයට මදුරුවන් බෝවන ජලය රැඳෙන හිස්‌ භාජන ඉවත දැමීමමෙන් වළකින ලෙසත් තමන් පදිංචි නිවස, පරිශ්‍රය සහ අවට පරිසරය ජලය රැඳෙන බදුන්වලින් තොරව තබා ගැනීමට උනන්දුවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට අවවාද කරති.

මේ අතර පළාත් පාලන ආයතනවලින් අවිධිමත් ලෙස කසල බැහැරලීම ඩෙංගු මදුරුවන්ගේ බෝවීමට බලපා ඇති බවත් මදුරුවන් බෝවන ලෙස කැලි කසල බැහැරලීමෙන් වැළකී විධිමත් ලෙස බැහැරලීමට පියවර ගතයුතු බවද අමාත්‍යාංශය අවධාරණය කරයිs.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.